ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 39ක ජයක්


දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ඨ පිතිහරඹය සහ සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය අවසන් වුණේ 1-1ක් ලෙස ජය පැරදුමකින් තොරවයි. 

මෙම තරඟයේ සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 554ක් රැස් කළා. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 364ට පිළිතුරු ලෙසයි. 

අද දිනයේදී සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට  දිනේෂ් චන්දිමාල් සමත්වීම විශේෂත්වයක් වුණා. පන්දු 326කදී සිය ඉනිම ගොඩනැගූ චන්දිමාල් හතරේ පහර 16ක් සහ හයේ පහර 05ක් ඊට එක් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 86ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 85 රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම නිමා  කළේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 190ක් ඉදිරියෙන් සිටිමින්. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151ක් පමණයි. 

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 59කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් වුණා. සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේදීද කඩුලු 06ක් දවා ගත් අතර සමස්ථ තරඟයේදී කඩුලු 12ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා. ඒ අනුව තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමටද ඔහු සමත් වුණා. තරඟාවලියේ වීරයා ලෙස සම්මානය දිනේෂ් චන්දිමාල්ට හිමි වුණා.

Leave a Reply

Your email address will not be published.