නව ජනාධිපතිවරයා පත් කිරීමට මාර්ග සිතියමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා මාර්ග සිතියමක් සකසා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අප කළ විමසීමකදී පැවසීය.

ඒ අනුව  ලබන   පහළොස් වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වු බව නිළ වශයෙන් පාර්ලිමේන්තුව වෙත දැන්වීම සිදු කිරීමෙන් පසුව නව ජනාධිපතිධුරය සදහා  නාම යෝජනා කැදවීමටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් මේ අනුව තීරණය කර  ඇතැයි පැවසීය.

නාම යෝජනා අවසන් කිරීමෙන් පසු ලබන සතියේ බදාදා(20) දින පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත බවද හෙතෙම පැවසීය.

මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හෙට උදැසන 1000ට රැස්වී සාකච්ඡා කිරීමටද එහිදී රටේ ආර්ථික තත්වය පිළිබදව අගමැතිවරයා කරුණු දැක්වීමට නියමිත බවත් තවත් සාකච්ඡාවක් අරගලයේ නියෝජිතයින් සමග පස්වරු 2.00 ට පැවැත්වීමටද එහිදී තීරණය වු බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published.