ඇසළ පුන් පොහොය අදයි

ඇසළ පුන් පොහෝ දිනය අද (13)ට යෙදී තිබේ.

ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂ වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පුර පෝය දිනය හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නේ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහරට මුළු ශ්‍රී ලංකාව පුරා බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වීම නිසාය.

බෞද්ධ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි ඇසළ පුන් පෝය දිනයන්හිදී සිදුව තිබේ.

අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පුර පෝය දිනකය. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයෑම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද අද වැනි ඇසළ පුර පෝය දිනකය. ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පුර පොහොය දිනයකයි. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පුන් පෝ දිනයක සිදු විය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදු වූයේද ඇසළ පුර පොහෝ දිනයකයි. විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසළ පුර පොහෝ දිනටයි.

Leave a Reply

Your email address will not be published.