උසම ක්‍රීඩිකා තර්ජනී තේරීම් කමිටුවේ අනුමැතියෙන් ආසියා තරගාවලියට යන නෙට්බෝල් පිලට එක්වෙයි

ආසියාවේ උසම ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා කුසලාන නෙට්බෝල් තරගාවලිය උදෙසා ජාතික තේරීම් කමිටුවේ විශේෂ අනුමැතිය ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීමට සූදානම් වෙයි.

මෙයට දින කිහිපයකට උඩදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නෙට්බෝල් තේරීම් පරීක්ෂණයට තර්ජනී සහභාගී නොවීමේ හේතු මත ඇය කණ්ඩායමට එක් කර නොමැති වුවද අති දක්ෂ ක්‍රීඩිකාවන් හෙයින් ඇය ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට එක් කර ගත යුතු බව පාර්ශ්ව කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ වාද භේද පසෙකලා හොඳම කණ්ඩායම සිංගප්පූරුවට යවා ආසියා කුසලානය දිනා ගැනීමේ වැදගත්කම එම පාර්ශ්ව කිහිපයේම මතය වී තිබේ.

මතුව ඇති තත්ත්වය මත පෙරේදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මී හා ජාතික නෙට්බෝල් පුහුණුකාරිණී හයසින්ත් විජේසිංහ මහත්මීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ අමල් එදිරිසූරිය මහතා පියවර ගෙන ඇත. ක්‍රීඩා කණ්ඩායම්වල තේරීම් කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත්විය නොහැකි බැවින් තර්ජනී සිවලිංගම් පිළිබද ජාතික තේරීම් කමිටුවට ලිඛිත ඉල්ලීමක් කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම්දී තිබේ.

මේ පිළිබඳ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ අමල් එදිරිසූරිය මහතා පැවැසූවේ තර්ජනී සිවලිංගම් අති දක්ෂ ක්‍රීඩිකාවක් බව තමාද පිළිගන්නා බවයි. “ඇයගේ අවශ්‍යතාව සම්මේලනය ජාතික තේරීම් කමිටුවට දැනුම් දෙයි. ඒ අනුව ජාතික තේරීම් කමිටුව සුදුසු තීරණයක් ගනීවි. කොහොම වුණත් සංගමය කරන ඉල්ලීමක් නොසලකා හරින්න අපට අවශ්‍යතාවක් නෑ. රට දිනවන්න හදන සැලසුම්වලට අප උදව් කළ යුතුයි“ එදිරිසූරිය මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය මේ වනවිටත් අදාළ ඉල්ලීම ජාතික තේරීම් කමිටුවට යොමු කොට ඇති අතර, ඒ සඳහා අනුමැතිය අද හෙටම ලැබෙනු ඇතැයි සභාපතිනී වික්ටෝරියා ලක්ෂ්මී මහත්මිය පැවැසූවාය.

තර්ජනී සිවලිංගම් කණ්ඩායමට එක්වීම පිළිබඳ තම කමිටු මතය සම්මේලනයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නෙට්බෝල් තේරීම් කමිටු සභාපතිනී දමයන්ති ජයතිලක මහත්මිය පැවැසීය. “ක්‍රීඩිකාවන් 12ක් තෝරා දී අවසන්. එයට අමතරව තර්ජනී රැගෙන යෑම පිළිබඳ අපේ අකමැත්තක් නෑ. සම්මේලනයට මේ බව දැනුම් දී තිබෙනවා. අපට අවශ්‍ය හොඳම කණ්ඩායමක්“ ජයතිලක මහත්මිය පැවැසූවාය.

ආසියා නෙට්බෝල් ශූරතාවලිය දිනා ගැනීම උදෙසා තර්ජනී සිවලිංගම් අවශ්‍ය බව පවසා සංචිතයේ ක්‍රීඩිකාවන් 15ක් ලිපියක් අත්සන් කොට නෙට්බෝල් සම්මේලනයටද ලබා දී ඇත. එයට අමතරව ඔස්ට්‍රේලියාවේ සිටින තර්ජනී සිවලිංගම් සිංගප්පූරුවට පැමිණෙන බව නෙට්බෝල් සම්මේලනයට ලිඛිතව දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.