තෙල් සංස්ථාවට භාණ්ඩාගාරයෙන් බිලියන 100ක්

ඉන්ධන ප්‍රමාණවත් තරම් සැපැයීමට නොහැකි වීම නිසා පීඩාවට පත් වී සිටින පොදු මහජනතාවට සහනයක් සැලසීම ජාතික යුතුකමක් හා වගකීමක් සේ සිතා ‍ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 100ක මුදලක් දුන් බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීමට තමන් සතුව ශ්‍රී ලංකා රුපියල් ද නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාගාරයට පසුගියදා දැනුම් දී තිබුණි. එමනිසා රුපියල් බිලියන 217ක මුදලක් තමන්ට දෙන්නැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබුණි.

මේසා විශාල මුදලක් හදිසියේ ගෙවීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති නිසා එය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දෙන ලෙස තමන් වෙත මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි ඉකුත් 07 වැනිදා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව යමින් මුදල් මණ්ඩලයේ ද අනුමැතිය සහිතව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා සිටි එම මුළු මුදලින් කොටසක් රුපියල් බිලියන 100ක් අලුතින් මුදල් මුද්‍රණයකොට දීමට පියවර ගෙන ඇත.

රජයේ ආදායම් ලෙස දිනපතා, සතිපතා හා මාසිකව ලැබෙන ආදායම් ඉක්මවා රජයේ වියදම් ලේඛනය ඉහළ යෑම නිසා දැඩි අභියෝගයකට මේ වන විටත් මහා භාණ්ඩාගාරය මුහුණ දෙමින් සිටියි.

Leave a Reply

Your email address will not be published.