‘ලිබරල් සහෝදරත්වයෙන්’ අරගලකරුන්ට පණිවුඩයක්

අරගලකරුවන් ආරම්භයේ සිට සාමකාමීව කටයුතු කිරීම නිසා අරගලයේ මූලික ඉල්ලීම වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධූරයෙන් ඉවත්වීමට ආසන්න තිබෙන ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයෙන් තීරණාත්මක ජයග්‍රහණය ළගාකරගැනීමට හැකි වූ බවත් ප්‍රචණ්ඩත්වයෙන් යුත් අරගලයකින් ජනතාව සහ සමස්ත ශ්‍රී ලංකාවටම හානියක් වනවා මිස ජයග්‍රහණයක් හිමිකරගත නොහැකි බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම අතිශයින් තීරණාත්මක අවස්ථාවේදී පුද්ගලික දේශපාලන අරමුණු පසෙලා රට දේශපාලන, ආර්ථික සහ සමාජිය වශයෙන් ස්ථාවර කිරීමට සමස්ත දේශපාලන ප්‍රජාව කටයුතු කළ යුතු බවත් ඔවුන් හැකි ඉක්මණින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය පවසයි.

අරගලයේ පදනම නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරමින් ව්‍යවස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික රාමුව තුළ ජනතා අභිලාෂයන් දිනාගැනීම බව කියන ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය යම් පුද්ගලයෙක් නීතියට පිටින් කටයුතු කිරීමෙන් හෝ සෙසු පුද්ගලයන් ඒ සඳහා දිරිගැන්වීමෙන් සැබෑ අරගලකරුවන් නොවන බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය අවධාරණය කරයි.

‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානයේ සභාපති හෙමාල් දහනායක, සම කැඳවුම්කරුවන් වන සහන් වීරතුංග සහ රාජිත අබේගුණසේකර, උප සභාපති සෙනුර ජයසිංහ, ජාතික සංවිධායක උසාමා ලියුදීන් සහ නියෝජ්‍ය ලේකම් මිහිත බස්නායක මෙම නිවේදනයට අස්සන් තබා තිබේ.  

Leave a Reply

Your email address will not be published.