පාර්ලිමේන්තුවෙන් ජනපති තෝරන තරගයට රනිල්-ඩලස්-සජිත් සටන් වදින්න සූදානම්

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු අතර තුන්කොන් සටනක් පවතින බව දේශපාල ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන රහස් ඡන්දයේදී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම පාර්ශ්ව තුනෙන්ම නාමයෝජනා භාර දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග කියයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් හා වික්‍රමසිංහ මහතාට හිතවත් සමඟි ජන බලවේගයේ සහ අනෙක් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් තීරණය කර ඇති අතර ඒ සඳහා සාකච්ඡාවන් කිහිපයක් පවත්වා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ආණ්ඩුවේ සිට ඉන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 10යේ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අලහප්පෙරුම මහතාට පොදුජන පෙරමුණේ සිට සහාය පළ කරන පිරිසක් කටයුතු කරමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට එම පක්ෂයේ නියෝජිතයන් පසුගියදා ඒකමතිකව තීරණය කර තිබේ.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාම යෝජනා බාර ගැනීම 19 වැනිදා සිදු කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ජූලි 20 වැනිදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published.