ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග තෝරා ගනියි. එමෙන්ම පසුගියදා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් පැතුම් නිශ්ශංක කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අමෙරිකා ඩොලර් 40000ක (රුපියල් කෝටි 1.5පමණ) මුදලකට මිලදී ගැනීමට තීරණය කොට ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග අමෙරිකානු ඩොලර් 60000කට (රුපියල් කෝටි 2. 5ක් පමණ) මිලදී ගෙන ඔහුට එම කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද පවරා ඇත. මේ හා සමාන මුදලකට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක, කළම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක මිළදී ගැනීමට එම කණ්ඩායම් හිමිකරුවෝ කටයුතු කළහ. මේ මුල් පෙළේ ක්‍රීඩකයන් කිහිප දෙනාට ද නායකත්වයේ වගකීම් පැවැරෙනු ඇතැයි විශ්වාස කෙරේ.
පැතුම් නිශ්ශංක ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී අමෙරිකා ඩොලර් 40000ක (රුපියල් කෝටි 1.5පමණ) වටිනාකමින් යුත් ක්‍රීඩක වර්ගීකරණයේ සිටි හෙයින් ඔහුට එම මුදල ගෙවීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කටයුතු කොට ඇත. ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවූ මෙවැනි දක්ෂ ක්‍රීඩකයන් 10ක ලැයිස්තුවක් සකස් කොට කණ්ඩායම් අයිතිකරුවන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කිරීමෙන් පැතුම් නිශ්ශංකට මේ අවස්ථාව උදාවිය.
නවතම තත්ත්වය අනුව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 21ක් දක්වා ඉහළ ගියේය. දේශීය ක්‍රීඩකයන් 15ක් හා විදේශීය ක්‍රීඩකයන් 6ක් එක් කණ්ඩායමකට ඇතුළත්වන අතර එයින් දෙදෙනකු 23න් පහළ නැගී එන ක්‍රීඩකයන් ලෙස සම්බන්ධ කරගැනීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්දේසි පනවා ඇත.
කැන්ඩි ෆැල්කන්ස් ක්‍රිකට් නායක වනිඳු හසරංග ලොව දක්ෂතම දඟ පන්දු යවන්නකු ලෙස හා මැදපෙළ පිතිකරුවකු ලෙස සැලකෙන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වර්ගීකරණයේ පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවිය.
වනිඳුගේ නායකත්වය යටතේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට බටහිර කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට්, ෆේබියන් ඇලන් හා ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ඇතුලත්ව සිටින අතර දකුණු අප්‍රිකාවේ ඩිවෝල්ඩ් බ්‍රෙවිස්, ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ග්‍රීන් විදෙස් ක්‍රීඩකයන් ද මිළදී ගෙන සිටිති.
පසුගිය වසරේ පැවැති තරගාවලියේදී කැන්ඩි ෆැල්කන්ස් පිල කැන්ඩි ටස්කර්ස් යන නමින් තරගාවලියට එක්වූ අතර, එහිදී එම කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ පෙරේරාට හිමිවිය.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහිදී සමාරම්භක තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එදිනම කළම්බු ස්ටාර්ස් කණ්ඩායම හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
අර්ධ අවසන් තරග, අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර, අවසන් තරගය විදුලි ආලෝක ධාරා මැද ලබන මස 21 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.