මේ මොහොතේ එක්සත්ව කටයුතු කළ යුතුයි

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයට ද අලුත් අත්දැකීමක් එක්කරමින් නිර්පාක්ෂික සාමකාමි මහජන අරගලයකින් පාලනයේ වෙනසක් සිදු විය. එහි වැදගත්කම ගැන හා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම, ව්‍යවස්ථා සංශෝධනය, දේශපාලන සංස්කෘතියේ සිදු විය යුතු වෙනස්කම් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දැක්වූ අදහස් මෙසේය.

 සර්වජන ඡන්ද අයිතිය භාවිත කළ ආසියාවේ පැරණිම රටක් මහජන අරගලයකින් ආණ්ඩු මාරුවක් සිදු කළා. ජනතා පරමාධිපත්‍ය ඍජුව ක්‍රියාත්මක කළ මේ සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?

සාමාන්‍ය අවස්ථාවකදී ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශ වන්නේ මැතිවරණයක් මඟින්. එහෙත් ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න තුළින් පැන නැඟුණු අරගලය හා ඒ ආශ්‍රිත උද්ඝෝෂණ ක්‍රියාවලියෙන් රටේ ලොකු පෙරළියක් සිදුව තිබෙනවා. මේ මහජන අරගලයෙන් සියලු දේශපාලන නායකයන්ට වැදගත් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එය නිවැරදිව කියවා ගත යුතුයි. දේශපාලන නායකයන් කොතරම් ජනප්‍රිය වුවත්, ඔවුන් ඡන්දයෙන් පත් වුවත්, භාර දී තිබෙන වගකීම ඉටු කළේ නැත්නම් ඉවත් කිරීමේ බලයක් ජනතාවට තිබෙන බව මෙයින් පෙන්නුම් කර තිබෙනවා.

මැතිවරණ මඟින් පාලනය වෙනස් කිරීම සාමාන්‍යයෙන් අප පිළිගන්නා ක්‍රමයයි. එහෙත් යම් යම් අවස්ථාවලදී පාලකයන්ට ඉල්ලා අස්වන ලෙස උද්ඝෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටවල සිදුවන දෙයක්. මෙය ශ්‍රී ලංකාවේ පමණක් සිදුවූ දෙයක් නෙමෙයි. යුරෝපයේ, ආසියාවේ හා වෙනත් රටවල මේ ආකාරයට මහජන උද්ඝෝෂණ පැන නැඟී තිබෙනවා. මෙය ජනතාවගේ දේශපාලන අවදි වීමක්. ඒ නිසා අප මේ තත්ත්වය දකින්නේ ධනාත්මක දෙයක් හැටියටයි.

දීර්ඝ කාලයක් තිස්සේ සාමකාමීව සිදුවුණු නිර්දේශපාලනික අරගලය බොහෝ රටවල අගැයීමට ලක්වුණා. එහි ජීව ගුණය පවත්වා ගැනීමේ වැදගත්කම ඔබ දකින්නේ කෙසේද?

අරගලයේ සාමකාමී බවට හානි වන යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදූ වූ බව වාර්තා වුණා. වෙඩි තැබීම් නිසා සාමකාමී අරගලකරුවන්ට තුවාල වුණා. මාධ්‍යවේදීන් පහරදීම්වලට ලක්වුණා. අගමැතිවරයාගේ පෞද්ගලික නිවෙස ගිනි තබා තිබෙනවා. මේ ආකාරයේ සියලු ප්‍රචණ්ඩ ක්‍රියා අප තරයේ හෙළා දකිනවා.

මෙවැනි සීමාසහිත සිද්ධි කිහිපයක් හැරුණු විට 9දා පැවැති උද්ඝෝෂණය සාමකාමී එකක්. රජයේ හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම අප කිසිවි‍ෙටකත් අනුමත කරන්නෙ නැහැ. මේ ආකාරයටම මැයි 09දා රජයේ හා පෞද්ගලික දේපළවලට හානි වුණා. අප එම සිදුවීම් ගැනත් කනගාටු වෙනවා. ප්‍රචණ්ඩකාරි සිදුවීම් නිසා සම්පූර්ණයෙන්ම සාමකාමි ලෙස නිමා කිරීමට ඉඩ තිබුණු අරගලයට බාධා වුණා.

ඉහත සඳහන් කළ සිද්ධි කිහිපය සිදු නොවූවා නම් වඩාත් යහපත් යයි මම කල්පනා කරනවා. එහෙත් අරගලයේ ප්‍රතිඵලය මේ සිදුවීම් නිසා අවතක්සේරුවට ලක් කරන්න බැහැ. අරගලයෙන් සිදු වූ යහපත් පරිවර්තනය හා රටේ දේශපාලන සංස්කෘතියට එයින් ඇති කළ හැකි බලවත් වෙනස්කම් අප අවබෝධ කර ගත යුතුයි.

මේක ‘මහජන බලය’ ප්‍රදර්ශනය කළ අවස්ථාවක්. අප කාටවත් මේ විදිහෙ අත්දැකීමකට මෙයට පෙර මුහුණ දීමට සිදුව නැහැ. සමස්තයේම ඇති වූ ප්‍රතිඵලය අනුව තමයි මේ සිදුවීම අපට පැහැදිලි කරන්න වෙන්නෙ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු සාධක ද අප අවබෝධ කර ගත යුතුයි.

පැවති ක්‍රමය වෙනස්කර රට අලුත් කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙස මේ පරිවර්තනය අපට සලකන්න පුළුවන්. ඒ වගේම දේශපාලනඥයන් මේ අවස්ථාවේ බැරෑරුම් බව තේරුම්ගෙන රට අවදි කිරීමේ භුමිකාවක නිරත විය යුතුයි. ඔවුන් ජනතා අභිලාෂයන් හා ඉල්ලීම් වටහා ගත යුතුයි.

ජනතාව විදී බැස උද්ඝෝෂණය කරන විට ඒවා වැළැක්වීමට අවස්ථා කිහිපයකදී වාරණ නියෝග ගැනීමට පොලිසිය උත්සාහ කළා. නීතිඥ ප්‍රජාව හා අධිකරණය ස්වාධීනව ගත් තීරණ මඟින් අනාගතයට කෙරෙන මඟ පෙන්වීම කුමක් ද?

ජනතාවට උද්ඝෝෂණය කිරීමට හා විරෝධය දැක්වීමට ඇති අයිතිය අපගේ නීති පද්ධතිය පිළිගන්නවා. සිරිමල් එදිරිව අමරතුංග නඩුවේදී මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා ඒ ගැන ඓතිහාසික තීන්දුවක් දී තිබෙනවා. බොහෝ බව අවස්ථාවලදී පොලිසිය ඉල්ලා සිටි තහනම් නියෝග අධිකරණය නොදුන්නෙ ඒ පදනම මතයි. ස්වාධීන හා ශක්තිමත් අධිකරණ පද්ධතියක් අපේ රටේ තිබෙන බව මේ සිදුවීම් දාමයෙන් සනාථ වුණා. ජනතාවගේ අයිතිවාසිකම් ගැන සංවේදී අධිකරණයක් අපට තිබෙන බව නැවත වරක් තහවුරු වුණා. ඒ වගේම අනාගතයේදී ද ජනතා අයිතිවාසිකම් ගැන තවදුරටත් සංවේදී නීති පද්ධතියක් ඇතිවේ යැයි අප බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන දෙදෙනාම ඉල්ලා අස්විය යුතුය යන්න අරගලයේ ප්‍රධාන ඉල්ලීමක්. මේ තත්ත්වය පාලනයේ ස්ථාවරභාවයට බලපානවද?

ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ධුරය හිස් වුවහොත් අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතු බව ව්‍යවස්ථාවෙ දක්වා තිබෙනවා. අගමැතිට වැඩ බලන්න බැරි නම් කථානායකවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතු බව ව්‍යවස්ථාවේ 40 (ඇ) වගන්තියේ දක්වා තිබෙනවා.

ඉන්පසුව පාර්ලිමේන්තුව රැස්ව ඉතා සීමිත කාලයක් සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කළ හැකියි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත ප්‍රතිපාදන තිබෙනවා. ඒ නිසා ජනාධිපති හා අගමැති යන දෙදෙනාම ඉල්ලා අස්වීම ආණ්ඩුවේ ස්ථාවරභාවයට බාධාවක් වෙන්නෙ නැහැ.

වැඩබලන ජනාධිපතිවරයා හා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා අතර වෙනස පැහැදිලි කළ හැකිද?

වැඩ බලන ජනාධිපතිවරයා යනු ජනාධිපති ධුරය හිස් වූ වහාම එහි වැඩ බැලීමට පත්වන අගමැති හෝ කථානායකයි. ඉන්පසු ජනාධිපතිගෙ ඉතිරි ධුර කාලයට පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම කළ යුතුයි.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට දැනට පාර්ලිමේන්තුවේ නැති අයකු පත් කළ හැකිද?

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කළ හැකි ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතුයි.

ලැයිස්තුවේ නැති අය මන්ත්‍රීවරු හැටියට පත් කළ අවස්ථා තිබෙනවා. ඒ අනුව ස්වාධීන තැනැත්තකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරිනමා ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට පත් කළ නොහැකි ද?

ජාතික ලැයිස්තුවේ සිටින මන්ත්‍රීවරයකු ඉවත්ව එම පුරප්පාඩුවට බාහිරින් කෙනකු පත් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් එය කෙටි කාලයක් තුළ කළ හැකිද යන්න විමසිය යුතුයි. කොහොම වුණත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට පත් කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණයි. මේ සංක්‍රාන්තිය ඉක්මනින් සිදු විය යුතුයි.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට නාමයෝජනා කිහිපයක් ඉදිරිපත් වුව හොත් ඇති වන තත්ත්වය කුමක්ද?

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර රහස් ඡන්දයක් පැවැත් විය යුතුයි. නාමයෝජනා කිහිපයක් ඉදිරිපත්වීම ගැටලුවක් නැහැ. 1982 අංක 02 ජනාධිපතිවරණ විශේෂ විධිවිධාන පනතේ මන්ත්‍රීවරුන් අතරින් නාමයෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් පාර්ලිමේන්තුව තුළ ඡන්දය පවත්වන ආකාරය ගැන දක්වා තිබෙනවා. ඒ අනුව ප්‍රකාශ කළ ඡන්දවලින් සියයට 50කට වඩා ගන්නා මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙනවා. ඔහුට ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සඳහා පමණත් තනතුරේ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.

ව්‍යවස්ථාව අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට පත් විය හැක්කේ 225න් අයකු පමණයි. අරගලකරුවන් ජනපති, අගමැති පමණක් නොව 225ම ප්‍රතික්ෂේප කරනවා. නිර්පාක්ෂික තැනැත්තකු පත්කළ යුතු බව කියනවා. මේ තුළ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නේද?

ඒ ප්‍රශ්නයට මට උත්තර දෙන්න බැහැ. මට කියන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන ගැන පමණයි.

අන්තර්වාර පාලනය ජනපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ඉතිරි සම්පූර්ණ කාලය සඳහාම පැවැතිය යුතු ද?

මම හිතන්නෙ ඊළඟ මහ මැතිවරණය පවත්වන තෙක් අන්තර්වාර පාලනය පැවතිය යුතුයි. පාර්ලිමේන්තුව තීරණය කළොත් ඉදිරි වසර දෙකහමාරට පෙර වුවත් මහ ඡන්දයක් තියන්න පුළුවන්.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සීමා කර ඇති කාල අවරෝධය අවසන් වන්නේ කවදා ද?

මහ මැතිවරණය පැවැත්වූයේ 2020 අගෝස්තු නිසා 2023 පෙබරවාරි වන තෙක් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. එයට පෙර විසුරුවා හරින්න පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් පමණයි.

ජන අරගලයේ යෙදී සිටින්නන් අන්තර්වාර පාලනයට බලපෑම් කළ හැකි නෛතික බැඳීමක් සහිත මහජන කවුන්සිලයක් ඇති කරන ලෙස ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථාව අනුව එයට ඉඩක් තිබේද?

එවැනි මහජන සභාවක් ඇති අවශ්‍ය කරන යන්ත්‍රණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හදන්න පුළුවන්. අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් වුණත් කරන්න පුළුවන්. අදහස් දැන ගැනීමේ ව්‍යුහයක් හැටියට මහජන සභාව සමඟ කටයුතු කරන්න අන්තර් වාර පාලනයට කිසිම බාධාවක් නැහැ.

විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වන විට ගැසට් කර තිබෙනවා. නව තත්ත්වය එම යෝජනාවට බලපානවද?

එහි ඉතිරි කටයුතු කරන්න වෙන්නෙ අලුත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවයි. මුල සිට පටන් ගන්න අවශ්‍ය නැහැ. මේ යෝජනාව දැනට ගැසට්කර තිබෙන නිසා එතැන් සිට ඉදිරියට ගෙන යන්න පුළුවන්. එහෙත් රටේ සිදුව තිබෙන නව තත්ත්වයන් සමඟ ආණ්ඩු පක්ෂයට සංශෝධන ගැන තවදුරටත් සලකා බලන්න සිදු වෙයි. යම් යම් වෙනස්කම් කරන්න අවශ්‍යය වෙයි.

එම සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ යුතු බවද ඔබේ අදහස?

කාරක සභා අවස්ථාවේ සංශෝධන කිරීමට වඩා තිබෙන කෙටුම්පතට අවශ්‍ය වෙනස්කම් ඇතුළත් කර නව කෙටුම්පතක් සකස් කිරීම වඩාත් උචිතයි කියලා මම කල්පනා කරනවා.

තිබෙන ව්‍යවස්ථාව මුළුමනින්ම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙනා යුතු බවට ජනමතයක් තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මහ මැතිවරණයකට යා යුතු වෙනවා. මේ කරුණු දෙක සඳහාම එකම ජනවරමක් භාවිත කළ හැකිද?

එය කළ හැකි දෙයක්. එහෙත් පත්වන අතුරු ආණ්ඩුවට ඒක කරන්න පුළුවන්ද කියලා අපට කියන්න බැහැ. ව්‍යවස්ථාව හැදීම භාරදූර කාර්යයක්. පවතින පාර්ලිමේන්තුවට ප්‍රායෝගිකව ඒක කරන්න හැකියාව තියෙනවද කියලා මට කියන්න අපහසුයි.

මේ අවස්ථාවේ රටේ ජනතාවට දීමට ඔබට පණිවුඩයක් තිබේද?

ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයකට රට මුහුණපා තිබෙනවා. පත්වන ආණ්ඩුවට ඒ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා. ජනතාව අතර විවිධ දේශපාලන අදහස් තිබෙනවා. එහෙත් මේ විවිධත්වය එක්සත්ව කටයුතු කිරීමට බාධාවක් කර නොගත යුතුයි.

Leave a Reply

Your email address will not be published.