පශ්චාත් අබේ යුගයේ ජපානයේ අනාගතය

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනයෙන් දෙදිනකට පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු නියෝජනය කළ එරට පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) ඉහළ ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. එරට පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලයේ ආසන 248න් ආසන 125ක් ‍තෝරා ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ආසන 63ක් LDPය දිනා ගත් අතර, පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂය කොමෙයිකෝ පක්ෂය දිනා ගත් ආසන 13ද සමඟ ආසන 76ක් ඔවුන්ට හිමි විය. මැතිවරණයට පෙර පාලක පක්ෂය සතු වූ ආසන සංඛ්‍යාව 55ක් විය.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි අගමැති ෆුමියෝ කිෂිඩා සිය ආසන්නතම පූර්වගාමියාගේ පාලන සමය තුළ සිදු වූ අත්වැරැදීම්වලින් පාඩම් ඉගෙන ගැනීමට සමත්ව ඇත. කොවිඩ් වසංගතය තුළ සිදු වූ එම වැරැදීම්, අඩුපාඩු ආදිය මඟ හරවා ගැනීමට මෙන්ම මහජනයාගේ විශ්වාසය දිනා ගැනීමට ද ඔහුට හැකි වී ඇත. මැතිවරණය පැවතියේ ඉකුත් ඉරිදාය. ඊට දෙදිනකට පෙර එනම් ඉකුත් 8 වැනිදා උදෑසන හිටපු අගමැති අබේට 41 හැවිරිදි පුද්ගලයෙක් විසින් වෙඩි තබනු ලැබුවේ ඔහු මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටින අතරතුර මහමඟදීය. හිටපු අගමැතිවරයා ඒ මොහොත වන විට කතාවක් පවත්වමින් සිටියේය. මේ වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූයේ ජපානය පමණක් නොව, ලෝකය ද කම්පා කරමිනි. ෂින්සෝ අබේ එරට වැඩිම කාලයක් එනම්, 2006–2007 සහ 2012–2020 දක්වා අගමැති තනතුර දැරූ දේශපාලනඥයාය. ඔහු තවමත් එරට ඉහළම ජනප්‍රියත්වයක් දිනා සිටි දේශපාලනඥයා ද විය. 2020දී ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූයේ අසනීප තත්ත්වය හේතුවෙනි. එසේ වුවද ඔහු දේශපාලනයෙන් බැහැර නොවීය.

අබේ ඝාතනයට පෙර පැවති ජනමත සමීක්ෂණවලදී ද පාලක LDPය මෙම මැතිවරණයේදී ජයග්‍රහණය කරනු ඇති බව පිළිබිඹු විය. ජූලි මස මුලදී පැවති එවැනි සමීක්ෂණයකදී LDPය ආසන 60ක්වත් දිනා ගනු ඇතැයි පෙනිණි. එය 52%ක් වැනි බලයක් වන අතර, මීට තුන් වසරකට පෙර ඔවුන්ට අත් වූයේ 49%ක ජන වරමකි. සභාගයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවීමට ඒ නිසා සිදු විය. මෙවර තනි පක්ෂයක් ලෙස වුවද 50% ඉක්මවා යෑමට ඊට හැකි විය.

වීදි විරෝධතා

ජපානයේ වෙඩි තැබීම් ද ඇතුළු මෙවැනි ඝාතන බෙහෙවින්ම විරලය. එබැවින් හිටපු අගමැති ඝාතනය එරට ජනයා අතර බලවත් කම්පනයක් ඇති කිරීමට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ ඝාතනයත් සමඟ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති ගැටලු හෝ දුර්වලතා ඔවුන් හඳුනාගනු ඇති අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇත. අගමැති අබේගේ පාලන සමය තුළ ආරක්ෂාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඔහු ගත් ක්‍රියාමාර්ග ජපාන ජාතිකයන්ගේ විරෝධයට හේතු විය. අබේට එරෙහිව වීදි විරෝධතා පවා පැවැත්විණි. එසේ වුවද වත්මන් අගමැති කිෂිඩා ද ආරක්ෂාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගනු ඇති බව කිව හැකිය. උද්ගතව ඇති තත්ත්වය යටතේ එය අවශ්‍යතාවක් ලෙස හඳුනා ගැනීමට බොහෝ ඉඩ ඇත.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන පරිදි අගමැති කිෂිඩා ප්‍රමුඛ මීළඟ ආණ්ඩුව ඉදිරිපිට ඇති ප්‍රමුඛ අභියෝගය වනු ඇත්තේ උද්ධමනය පාලනය කිරීම ඇතුළු ආර්ථික අභියෝගයයි. මැතිවරණයට පූර්වගාමීව පැවති මත විමසුම්වලින් ද ජනතාව අපේක්ෂා කළ හදිසි ප්‍රමුඛතා අතර ආර්ථික ගැටලුවලට පිළියම් යෙදීම ඉහළින්ම තිබිණි. “නව ආකාරයක ධනවාදයකින් ජපාන ආර්ථිකය ගොඩනඟන බව” අගමැති කිෂිඩා මැතිවරණ ව්‍යාපාරයේදී ජනතාවට පොරොන්දු විය. හිටපු අගමැති අබේගේ දිගුකාලීන ඉලක්කයක් වූ එරට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ද කිෂිඩාගේ අපේක්ෂාවකි. එරට දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව අමෙරිකාව සම්පාදනය කර පවරන ලද ව්‍යවස්ථාවකි. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනයේදී පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවැසි වන අතර, එය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ පිළිබඳ තමන් තුළ ඇති අභිලාෂය අගමැති කිෂිඩා ඉකුත් ඉරිදා ද ප්‍රකාශයට පත් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පාදම

මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අගමැති කිෂිඩා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ පාදම වන මැතිවරණය හිංසනය විසින් සොලවා තිබූ පසුබිමක මෙම ජයග්‍රහණය තීරණාත්මක ලෙස වැදගත් බවය. මැතිවරණ ව්‍යාපාරයේදී හිටපු අගමැති අබේගේ ජීවිතය ද අහිමි වූ පසුබිමක රටේ ස්ථාවර පාලනයක් ගෙන යෑම සඳහා මේ ජයග්‍රහණය හේතු වනු ඇති බව මාධ්‍ය වෙත අදහස් පළ කළ ඇතැම් දෙනා පෙන්වා දී තිබිණි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අගමැති කිෂිඩා තවත් මැතිවරණවලට මුහුණ නොදෙන බැවින් ඔහු ඉදිරිපිට ඇති මෙම තුන් අවුරුදු සමය ස්වර්ණමය කාල වකවානුවක් ලෙස සලකා ක්‍රියා කිරීමට හැකි වනු ඇති බවය. අගමැති කිෂිඩා පාලනය අරඹා තවමත් ගෙවී ඇත්තේ මාස නවයකි. භාණ්ඩ මිල ඉහළ යෑම, බලශක්ති ක්ෂේත්‍රයේ ඇති අභියෝග ආදිය නව රජය ජය ගත යුතුව ඇති හදිසි ප්‍රමුඛතා වනු ඇති බව දැනටමත් පැහැදිලිය. කොවිඩ් වසංගතය හා යුක්රේන යුද්ධය හමුවේ ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් ජපානයේ ද යම් ගැටලුකාරී අන්දමින් ප්‍රකාශයට පත්ව තිබේ.

මේ වන විට ආසියානු සංචාරයක යෙදී සිටින අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ජපානයේදී හිටපු අගමැතිවරයාගේ ඝාතනය පිළිබඳ අමෙරිකාවේ ශෝකය පළ කළ අතර, ජර්මන් විදේශ අමාත්‍ය ඇනලිනා බෙයාර්බොක් ද පසුගිය දිනවල එරට සංචාරයක යෙදී සිටියාය. අබේ ඝාතනයත් සමඟ ලෝක නායකයන්ගේ ශෝක පණිවිඩ ගලා ආ අතර, එය මෑතකාලීන ලෝක දේශපාලන ක්ෂේත්‍රය කම්පනය කළ ඝාතනයක් විය. අත්අඩංගුවේ පසු වන ඝාතකයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන සිදු වෙමින් ඇත්තේ ඒ පිළිබඳ සියලු තොරතුරු අනාවරණ කර ගැනීම වෙනුවෙනි. දැනට පෙනෙන්නේ ඝාතකයා තුළ දේශපාලන අභිලාෂයක් තිබී නැති බවය.

මෙම මැතිවරණ ජයග්‍රහණය 2013 වර්ෂයෙන් පසුව LDPය ලද ඉහළම ජයග්‍රහණයයි. ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පසුබෑම ද මෙහිදී පැහැදිලි විය. LDPය ආසන 63ක් දිනා ගන්නා විට ඔවුන්ට අත් වූයේ ආසන 17ක් පමණි. එය එතෙක් පැවති ආසන සංඛ්‍යාවටත් අඩුය. විපක්ෂයේ තිබූ අසමගිය මෙන්ම අසංවිධානාත්මක බව ද මෙවැනි මැතිවරණ ප්‍රතිඵලයකින් පිළිබිඹු වන බව දේශපාලන විචාරකයන්ගේ අදහසය. අබේගේ ඝාතනයත් සමඟ ඇති වූ කම්පනය ද LDPයේ ජයග්‍රහණය තීව්‍ර වීමට බලපාන්නට ඇති බව සිතිය හැකිය.

එරට ව්‍යවස්ථාව නව ජනවරමක් සමඟ සංශෝධනය වනු ඇත්තේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එය සම්පාදනය වී පළමු වතාවටය. යුද්ධයේදී ජපානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් බලපෑමට ලක් වූ දකුණු කොරියාව හා චීනය වැනි රටවලට සංවේදී 9 වැනි වගන්තිය ද ඇතුළුව තවත් වෙනස්කම් මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදු වනු ඇතැයි අවධානයට ලක්ව ඇත. LDP ආරංචි මාර්ග උපුටමින්, විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි කැබිනට් සංශෝධන සැප්තැම්බරයේදී සිදු වනු ඇත. LDPය ලැබූ ඉහළ ජනවරම විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පිළිගෙන තිබේ. ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (CDP) නායක කෙන්තා ඉෂුමි ප්‍රකාශ කර ඇත්තේ ජනතාව LDPය කෙරෙහි විශ්වාසය තබා ඇති බවය. කෙසේ වුවද මෙම පරාජය හේතුවෙන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ අදහසක් ඔහු තුළ නොමැත.

පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙනුයේ තුන් වසරක් ගතවූ තැනය. එහිදී එක් ඡන්ද දායකයකුට ඡන්ද පත්‍රිකා 2ක් නිකුත් කෙරේ. ඉන් එකක් මැතිවරණ දිස්ත්‍රික් පදනමින් නියෝජිතයෙක් තෝරා ගැනීම සඳහා වන අතර, අනෙක සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ නියෝජිතයෙක් තෝරා ගැනීම වෙනුවෙනි. පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වන නියෝජිතයන්ට සය අවුරුදු කාල සීමාවක් කටයුතු කළ හැකිය. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් 545 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. ඉන් 30% කාන්තාවෝ වෙති. එය මෙතෙක් එරට මැතිවරණ ඉතිහාසයේ ඉහළම කාන්තා නියෝජනයයි.

අබෙනොමික්ස්

ආර්ථිකමය අභියෝග ජය ගැනීම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදී කාරණාවලට අමතරව ෂින්සෝ අබේගේ ඝාතනයත් සමඟ රට තුළ දේශපාලන ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන හඳුනා ගනිමින් ඊට පිළියම් යෙදීම ද ඉදිරි කාලයේදී සිදු වනු ඇත. පසුගිය කාලයේදී කොවිඩ්-19 වසංගතයට එරෙහිව විශාල සටනක යෙදීමට ජපානයට ද සිදු විය. ඒ අතරවාරයේ ඔලිම්පික් උලෙළ ද පැවැත්වීමට ද ජපානය සමත් වූයේ ඊට එරෙහිව ජපන් ජාතිකයන්ගෙන් එල්ල වූ විරෝධය මැඬ ගනිමිනි. වසංගතයේ බලපෑම් භයානක අතට හැරෙනු ඇතැයි ජපන් වැසියෝ බියට පත් වීම එම විරෝධයට විශාල ලෙස හේතු විය. කෙසේ වුවද හිටපු අගමැති අබේ ඒ වෙනුවෙන් ජපානය සූදානම් කිරීමට සමත් විය. ඔහුගේ ප්‍රතිපත්ති ‘අබෙනොමික්ස්’ නමින් ප්‍රකටය. අබේ දේශපාලන පෙළපතකින් පැවත ආවෙකි.

ඔහුගේ සීයා ද අගමැති ධුරය දරා ඇති අතර, පියා විදේශ අමාත්‍ය ධුරය දරා තිබේ. ඔහු අයත් වන්නේ ජපානයේ ඉහළ ධුරාවලියටයි. මෑත කාලීන ඉතිහාසයේ ජපානයේ කෙටි කාල සීමාවක් තුළ අගමැතිවරු ගණනාවක්ම පත් වූ අතර, වත්මන් අගමැති කිෂිඩා එම ධුරයට පත් වූයේ ජපානයේ 100 වැනි අගමැතිවරයා වශයෙනි. මෙම බල වෙනස්කම් අතර, වැඩිම වසර ගණනක් බලයේ සිටිමින් වාර්තාවක් තබා ඇති අබේ අගමැති ධුරයෙන් නික්ම ගිය පසුව වුවද ජනප්‍රිය දේශපාලනඥයෙක් විය. එවැනි පසුබිමක පශ්චාත් අබේ යුගය තුළ ජපානයට නායකත්වය දෙමින් ජපාන ජාතිකයන් අතර ආරක්ෂක වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද සුරක්ෂිත බවක් ඇති කිරීම උදෙසා අගමැති කිෂිඩා ප්‍රමුඛ නව රජය ඉදිරිපිට ඇත්තේ විශාල වගකීමකි. එම වගකීම ඉටු කිරීමේදී ඔවුන් ලද ශක්තිමත් ජනවරම විශාල ශක්තියක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published.