සජිත් ගත් තීරණය සමගි ජන සන්ධානය ඒකමතිකව සම්මත කරයි

අනුප්‍රාප්තික ජනපති ධුරය සඳහා ඉදිරිපත් වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණා.
අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තමන් ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර දැනුම් දුන් අතර එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබූ අතර එම යෝජනාව සම්මත කිරීම අද නැවත තහවුරු කර තිබෙනවා.
ජනපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (16) පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.
නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා උදෑසන සිදුකෙරෙන අතර ජනාධිපතිවරයා පත්කර ගැනීමට ලබන 20 වැනිදා සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.
ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.