අදානි ට ලැබුණු දැවැන්ත වාණිජ වරාය

ඊශ්‍රායලයට අයත් දැවැන්ත වාණිජ වරායක් මිලදීගැනීමට ඉන්දියාවේ අදානි සමාගම කටයුතු කර තිබේ.

ඒ සමගින් ආසියාව සහ යුරෝපය අතර නව වෙළෙඳ මාවතක් විවෘත වනු ඇති බව විචාරක මතයයි.

මධ්‍යධරණී සාගර කලාපයේ පිහිටි වාණිජ මරමස්ථානයක් ලෙසින් සැලකෙන ඊශ්‍රායලයට අයත් හයිෆා වරායේ වැඩි කොටස් ඉන්දියාවේ අදානි සමූහයට අලෙවි කර තිබේ.

ඒ අනුව වරායේ සමස්ත කොටස්වලින් සියයට 70ක් අදානි සමූහය මිලදීගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 1.18ක දැවැන්ත ලංසුවකටය.

වසර දෙකක ටෙන්ඩර් පටිපාටියක් නිමා කරමින් මෙම ගනුදෙනුව සිදුවී තිබුණි.

ඊශ්‍රායල වරායේ ආනයන වියදම් පහත දැමීම සහ මෙතෙක් එම වරායේ පැවති තදබදය නිමාකිරීම මෙම පියවර මගින් අපේක්ෂිතය.

ගිවිසුම ප්‍රකාරව, වරායේ ඉතිරි සියය 30ක කොටස්වල අයිතිය පවතින්නේ, ඊශ්‍රායලයේ ගැඩොට් සමාගම සතුවය.

මෙම ටෙන්ඩරය තමන් සතුවීම ඓතිහාසික සිදුවීමක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි පවසා තිබේ.

එමෙන්ම එය උපායමාර්ගිකව දෙරටටම වැදගත් සංධිස්ථානයක් බවද ඔහු සඳහන් කරයි.

ඊශ්‍රායලයේ භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 98ක්ම සිදුවන්නේ මුහුදු මාර්ගය ඔස්සේය.

චීනයේ ෂැන්හායි ජාත්‍යන්තර වරාය සමාගම මගින් පාලනය වන පර්යන්තයක්ද හයිෆා වරායේ පැවතීම විශේෂත්වයකි.

හයිෆා වරාය ඉන්දීය සමාගමක් විසින් මිලදීගැනීම මගින් ආසියානු සහ යුරෝපා වෙළෙඳාම් සම්බන්ධයෙන් නව මාවතක් විවෘත වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින්ද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.