ජනපති තෝරන ඡන්දය අද

ඉතිහාසයේ පළමු වරට ජනපති තෝරන්න පාර්ලිමේන්තුවේ ඡන්දයක්
* රනිල් යෝජනාව – දිනේෂ් ස්ථීර කිරීම – මනූෂ
* ඩලස් යෝජනාව – සජිත් ස්ථීර කිරීම – ජී.එල්. පීරිස්
* අනුර යෝජනාව – විජිත ස්ථීර කිරීම – හරිනි

ඡන්ද විමසීම උදේ 10ට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (20) පෙරවරු 10.00 පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ජනාධිපති ධුරයට නාමයෝජනා භාර ගැනීම ඊයේ (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

ඒ අනුව ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක යන මහත්වරුන්ගේ නාමයෝජනා ඉදිරිපත් කර ඇත.

ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයකුට වඩා නාමයෝජනා ඉදිරිපත් කර ඇති බැවින් පසුගියදා (11) පැවති පක්ෂ නායක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඇති කරගත් පූර්ව එකඟතාව මත අද (20) පෙරවරු 10.00ට ඡන්ද විමසීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා නාමයෝජනා භාර ගනිමින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව, පාර්ලිමේන්තුව 16 වැනිදා රැස්වූ අතර එම රැස්වීමේ දින සිට පැය හතළිස් අටකට කලින් නොවන්නා වූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක නාමයෝජනා භාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව ලෙස අඟහරුවාදා එනම් ඊයේ (19) පූර්වභාග 10.00ට පාර්ලිමේන්තුව රැස් වී නාමයෝජනා භාර ගැනීමේ කාර්ය සිදු කළ බව ද මහ ලේකම්වරයා පැවසීය. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් විය. පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගැනීම වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීමේ කාර්ය ආරම්භ කරන බවට කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය. ඉන්පසුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කළේය.

මේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරන අතර පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා තෝරා පත්කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයකුම, එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරා පත්කර ගනු ලැබුවහොත්, ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට කැමති බවට ලිඛිත එකඟත්ව කලින් ලබාගත යුතු අතර එහි පිටපත් තමන් ‍වෙත භාරදිය යුතු බව ද මහ ලේකම්වරයා සභාවට දැනුම් දුන්නේය. නාමයෝජනා භාරගත් ඊයේ (19) දින තමන් වෙත භාර දිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.

නාමයෝජනා භාර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10.00 දක්වා කල් තැබූ අතර අද (20) පෙරවරු 10.00ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වේ. පාර්ලිමේන්තුවෙන් ජනපතිවරයෙක් තෝරා පත්කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරටයි.

Leave a Reply

Your email address will not be published.