වැඩි කළ ගාස්තුවට වැඩ කරන්න දුම්රිය ස්ථානාධිපතිවරුන් කල් ඉල්ලයි

ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළ පරිදි අනිද්දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ලබන පළවනදා සිට එය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.
අනිද්දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිමට තීරණය කරමින් ප්‍රවාහන අමාත්‍යංශය අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් නිකුත් කල එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ රුපියල් 10 ක්ව පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා ඇති බවයි. ඒ අනුව සියලුම මගී ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සංශෝධනය වීමට නියමිතයි.
එහි දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50 ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා. වේදිකා ප්‍රවේශ පත්‍ර නව ගාස්තුව වන්නේ රුපියල් 20ක්.
පළමු කිලෝමිටර් 10 තුළ එක් කිලෝ මීටරයකට තුන් වන පන්තිය සඳහා රුපියල් 2 යි ශත 60 කින් සහ දෙවන පන්තිය සඳහා රුපියල් 5 යි ශත 20 කින් මෙන්ම, පළමු පන්තිය සඳහා රුපියල් 10 ශත 40 කින් දුම්රිය ගාස්තු ඉහළ දමා තිබෙනවා.
ඩීසල් ලීටරයක මිල රුපියල් 400 ක්ව පැවති අවස්ථාවේ බස් ගාස්තුවෙන් අඩක් වන ලෙස
දුම්රිය ගාස්තු ද සංශෝධනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
එමෙන්ම, අදාළ දුම්රිය සංශෝධිත ගාස්තු හෙට සිට සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කිරිමට ද නියමිතයි.
මෙම සංශෝධිත දුම්රිය ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ නොහැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.
අප මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි බලධාරියෙකු සඳහන් කලේ දුම්රිය ගාස්තු සංශෝධනය වන බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් එය හෙට මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක බවයි.
එලෙස සංශෝධන දුම්රිය ගාස්තු අය කිරීම සිදු නොකළහොත් දිනකට දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 10 ක පාඩුවක් සිදුවන බව ද සඳහන්.
මේ අතර, විදේශ තැපැල් ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත්ව තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ ගැසට් පත්‍රය පසුගිය 19 වනදා නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ ලබන මස පළවනදා සිට ගාස්තු ඉහළ දැමීම සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published.