පරීක්ෂණයකට අදාළව ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට අදාළව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. 

ඒ, ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍යජාල, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමිනි.

ඊට අදාළව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කරන ලද ඉල්ලීමක් කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් පත් කර සිටී.

පරීක්ෂණ වාර්තාව ජූලි 31 දිනට පෙර තමා වෙත ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published.