පාර්ලිමේන්තුවේ බලතල වැඩි කර නව ආණ්ඩුවේ ගමන අරඹනවා

අගමැති දිනේෂ් මාධ්‍ය හමුවේ කියයි

විවිධ මත තිබුණත් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ වගකීම් ඉටු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් තමාත් අතර සුහදතාව ඇති බවත් වෙනස් දේශපාලන මත තිබුණත් ඉලක්ක කරා ගමන් කිරීමට විශ්වාසය සහ අනෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන බවත් නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ඇති කොට, පාර්ලිමේන්තු බලතල වැඩි කරමින් දේශපාලන යන්ත්‍රණයේ විය යුතු වෙනස්කම් සිදු කර ඉතා ඉක්මනින් නව ආණ්ඩුවේ ගමන ආරම්භ කරන බවත් අගමැතිවරයා කීය.

නව ධුරයේ දිවුරුම් දීමෙන් පසු අගමැති කාර්යාලයේදී ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී නව අගමැතිවරයා මෙසේද කීය.

“අගමැති ධුරයේ වගකීම් ජනාධිපතිවරයා විසින් අද මට පවරනු ලැබුවා. අපේ අත්දැකීම් සම්භාරය එක් කර ජනතාවගේ ප්‍රාර්ථනාවක් ඉටු කිරීමට කැප වීමෙන් ස්ථිර වැඩපිළිවෙළක් අනුව වැඩ කරනවා. අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ඉතිරි සති කීපයේ අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපේ වැඩසටහන පැහැදිලිව සකස් කරගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී ඕනෑම කොටසකගේ වේදනාව වෙනුවෙන් සාකච්ඡා කරන්න අප කැප වී සිටිනවා. අහිංසාවාදීව අත්වැල් බැඳගෙන මාතෘ භූමියේ සියලු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවේ එකඟතාව ඇති කර ගැනීමේ පසුබිම සකස් වී තිබෙනවා.

“අපේ අර්බුදවලින් ප්‍රධාන වන්නේ ආර්ථික අර්බුදයයි. අද කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් පසු අපේ මිත්‍ර රටවලින් සහ විදේශ ආයතනවලින් ආධාර ගෙන ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිළිවෙළක් සකස් කෙරෙනවා. අප ඉදිරියට ගමන් කරන්නේ මහජන සිතුම් පැතුම් සමඟයි.

“දෙවන ලෝක සංග්‍රාමයේදීත් රුසියාව එක පැත්තකත් අමෙරිකාව තව පැත්තකත් බ්‍රිතාන්‍යය තව පැත්තකත් මතවාදීව සිටියා. ලෝකය රැක ගැනීම සඳහා පැසිස්ට්වාදය පරාජය කිරීමට ඒ රාජ්‍ය නායකයන් අත්වැල් බැඳ ගත්තා.

“විවිධ මත තිබුණත් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවාරයාත් මාත් අතර සුහදතාව තිබෙනවා. විවිධ දේශපාලන මත තිබුණත් අප අතර කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මිස වෛරී පුද්ගලයන් වුණේ නැහැ. ජනාධිපතිවරයා අත්දැකීම් බහුල පුද්ගලයෙක්. සය වරක් අගමැති ධුරය දැරූ අයෙක්. විවිධ අමාත්‍ය ධුර දරා තිබෙනවා. විවිධ මත තිබුණත් ඉලක්ක කරා ගමන් කිරීමට විශ්වාසය සහ අනෝන්‍ය අවබෝධය ඇති කර ගත යුතුයි.

“රජයක් වශයෙන් රටේ එදිනෙදා කටයුතු ඉදිරියට ගෙන යෑමට නීතිය අනුව ක්‍රියා කරන අතරම ජනතාවගේ අදහස්වලට ප්‍රජාතන්ත්‍රවාදීව සවන් දී ඒ අනුව වැඩ කරන්න අප බැඳී සිටිනවා. ඒ සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වහා වෙනස් කරන බව ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළා. පියවරෙන් පියවර එම කාරණා ගැන අවධානය යොමු කරනවා.

“අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම ගැන ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ඇති කර පාර්ලිමේන්තු බලතල වැඩි කර දේශපාලන යන්ත්‍රණයේ ඇති විය යුතු වෙනස්කම් කර ඉතා ඉක්මනින් අපේ ගමන ආරම්භ කරනවා.

“ජනාධිපතිතුමා අගමැති ලෙස පත් වූ අවස්ථාවේ සිටම කැබිනට් මණ්ඩලය සමඟ එක්ව ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කළා. ජනාධිපතිතුමා ඇති කළ වැඩපිළිවෙළ යටතේ අද ගෑස් අර්බුදය නිම වී තිබෙනවා. ගොවි ජනතාවට පොහොර දී ඊළඟ මහ කන්නය වන විට සහලින් ස්වයංපෝෂිත රටක් ගොඩ නගන ඉලක්කයට ගෙන ආ යුතුයි. අහරින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීමට අපේ ගොවි ජනතාවට හැකියාව තිබෙනවා. ඒ සඳහා දේශපාලන භේදයකින් තොරව අත්වැල් බැඳ ගෙන ක්‍රියා කරමු.

“තෙල් මිල දී ගැනීමට විදේශ විනිමය අවශ්‍යයි. ඒ විසඳීමට ජනාධිපති ඛනිජ තෙල් ඇමැතිවරයා සමඟ එක්ව ඇති කළ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන කේන්ද්‍රීය ප්‍රශ්න විසඳීමට රජය පියවර ගෙන නැතැයි කිසිවකුට කියන්න බැහැ. දේශපාලන පක්ෂ, මන්ත්‍රීවරුන් ආර්ථිකය උදෙසා වැඩ කරන ජනතාව, ව්‍යාපාරිකයන් අත්වැල් බැඳගෙන මේ ජාතික අභියෝගය ජය ගන්නා රටක් බවට අපේ මාතෘ භූමිය පත් කර ගනිමු. එම වැඩපිළිවෙළේදී වැඩි බලතල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට භාර දීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. අද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තවත් අලුත් තීරණ ගන්නවා.”

Leave a Reply

Your email address will not be published.