විශේෂඥ වෛද්‍යවරයා අල්ලස් ගැනීම වෛද්‍යවරයාට එරෙහි නඩුව 28 වැනි දා යළි විභාගයට

පෞද්ගලික රසායනාගාරයක, වෛද්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකර සිටීමට රුපියල් 75,000 ක අල්ලසක් ඉල්ලා, තුටු පඬුරු ගත්තේ යැයි අධි චෝදනා ලද කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 28 වැනි දින යළි විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (22) දින නියම කෙළේය.

ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණයේ පෙනී සිටි අතර රටේ පවතින වාතාවරණය අනුව සාක්ෂිකරුවන් අධිකරණයේ කැඳවීමට අපහසු වු එහෙයින් නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් දෙන ලෙසට රජයේ නිතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රනරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේෂ් වීරමන් මහත්වරුන් ඉදිරියේ නඩුව කැඳවීය.

කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ව කටයුතු කරමින් සිටියදී 2016 ජූලි මස 01 වැනි දින හා 2016 අගෝස්තු මස 31 වැනි දින අතර කාලය තුළදී පෞද්ගලික වෛද්‍ය රසායන පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගෙන් අවස්ථා තුනකදී රුපියල් 75,000 කට ආසන්න මුදලක් ඉල්ලා හිඟ මුදල් ගැනීම තුළින් තුටු පඬුරු උදව් ගැනීම යන චෝදනාව යටතේ වෛද්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම 2019 වසරේදී මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිල්ල මඟින් සාක්ෂි දහයක් අධිකරණය හමුවේ මේ වන විට කැඳවා ඇති අතර තවත් සාක්ෂි කිහිපයක් කැඳවීමට ඉතිරිව ඇති බව කරුණු ඉදිරිපත් කෙරිණි .සාක්ෂි විභාගය ලබන 28 වැනි දින නැවත සිදු සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.