ජනාධිපති ලේකම් කාර්යාල භූමියෙන් විරෝධතාකරුවන් ඉවත් කළේ නීතියට පිටු පෑ නිසා

  • රාජ්‍ය පාලනයට ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වුණා
  • අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

පොලිස් මූලස්ථානය

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් සාමකාමී ලෙස ඉවත් වන ලෙස විරෝධතාකරුවන්ගෙන් කීප වතාවක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු හෙයින් ආරක්ෂක අංශ වෙත පැවරී ඇති නෛතික බලතල ප්‍රකාරව එම පිරිස් ඉවත් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (22) අලුයම් කාලයේ ඒකාබද්ධව කළ මෙහෙයුමකින් අනතුරුව මේ විරෝධතාකරුවන් මෙසේ ඉවත් කෙරුණු අතර සාමාන්‍ය නීතිය යටතේ පොලිසියටත් හදිසි නීතිය යටතේ ත්‍රිවිධ හමුදාවටත් පැවරී ඇති බලතලවලට මේ පිරිස ජනාධිපති කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කළ බව පොලිසිය කියයි.

සාමකාමී සහ නීතියේ රාමුවේ විරෝධතා දැක්විය හැකි නමුත් මහජන සාමය කඩ වන ලෙස හා අත්‍යවශ්‍ය සේවාවලට බාධා වන ලෙස කටයුතු කරන අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කිසි විට පසුබට නොවන බව අවධාරණය කරන පොලිස් මූලස්ථානය නීතිය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කිරීම සාමය අගයන නීතිගරුක පුරවැසියන්ට අගතියක් බවත් පෙන්වා දෙයි.

මේ මස 09 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටිමින් එය ඔවුන්ගේ පරිශ්‍රයක් බවට අඟවමින් හැසිරුණු විරෝධතාකරුවන් එම ස්ථානයට යන ආරක්ෂක නිලධාරීන්ට පවා බාධා කරමින් කටයුතු කර ඇති බවත් පොලිස් මූලස්ථානයේ නිවේදනයේ දැක්වේ.

විරෝධතාකරුවන් මෙසේ අත්පත් කරගෙන සිටියේ රාජ්‍ය පාලනයේදී ඉතා වැදගත් මෙන්ම භාරධුර කාර්යභාරයක් ඉටු කරන කාර්යාල පද්ධතියක් වන අතර රටේ මහජනතාවගේ අවශ්‍යතා සඳහා විවිධ තීන්දු තීරණ ගන්නා කාර්යාල පද්ධතියෙන් සාමකාමීව ඉවත් වන ලෙස නීත්‍යනුකූල ඉල්ලීම් අවස්ථා කීපයකදීම ඉදිරිපත් කෙරිණි.

එහෙත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් ඔවුන් විසින්ම විවිධ දින වකවානු නියම කරමින් මේ ස්ථානයේ රැඳී සිටීමට විරෝධතාකරුවන් උත්සාහ කරන බව ආරක්ෂක අංශ වෙත නිරීක්ෂණය විය. කෙසේ වෙතත් ජූලි මස 14 වැනි දින කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii ​භාර සහකාර පොලිස් අධිකාරී, නැවත වරක් 18 වැනි දින කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ අධිකාරී, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii ​භාර සහකාර පොලිස් අධිකාරී සහ කොටුව වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාත් මේ විරෝධතාකරුවන් හමු වූ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාමකාමීව ඉවත් වන ලෙස ඉල්ලා සිටි අතර එම අවස්ථාවලදී ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් ආවේගශීලීව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ප්‍රතිචාර දක්වා තිබිණි.

එම ගොඩනැඟිලිවල තිබෙන වටිනා රජයට අයත් දේපළ හා ලියකියවිලිවලට හානි සිදුවන බව තවදුරටත් නිරීක්ෂණය වෙමින් තිබූ අතර එම පිරිස් ඉවත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට පවා සාමයට ලැදි මහජනතාවගෙන් චෝදනා එල්ල වී තිබුණි.

සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නොතිබූ බැවින් මේ ආකාරයට විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කරන ලදී.

විරෝධතාවයේ යෙදීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුරවැසියකුට දී ඇති අයිතිවාසිකම්වල සීමා හැඳිනගෙන නීත්‍යානුකූලව හා සාමකාමීව විරෝධතාවයේ යෙදෙන ලෙස ඔවුන්ට දැනුම් දුන්නද තර්ජනය කරමින් බලපෑම් කරමින් ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරීත්වය මුදා හරිමින් මහජන සාමයට බාධා හා හිරිහැර වන අයුරින් කටයුතු කළ හොත් මහජන සාමය පවත්වා ගැනීම සඳහා ඊට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බව අවධාරණය කෙරිණි. මේ විරෝධතාකරුවන් ඉවත් කිරීමේදීද ප්‍රතිවිරෝධය දැක්වූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට සිදු වූ අතර නීත්‍යනුකූලව කටයුතු කරන්නේ නම් කිසිදු විරෝධතාකරුවකුට එරෙහිව බලය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවත් පොලිසිය කියයි.

මේ අනුව ,කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටිය දී අත්අඩංගුවට ගත් නීතිඥ නුවන් බෝපගේ, මාධ්‍යවේදී මධුෂාන් ප්‍රනාන්දු ඇතුළු නව දෙනා කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ (22 ) ඇප දීමට නියෝග කෙළේය. රුපියල් 10000ක මුදල් ඇප රුපියල් ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් ඇප තැන්පත් කරන තෙක් පුද්ගලික ඇප මත සැකකරුවන් මුදා හරින ලෙසත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

සැකකරුවන්ට පදිංචි සහතික ඉදිරි දින ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට එම ස්ථානයට ඇතුළු වීමෙන් වැළකිය සිටිය යුතු බවටත් නියෝග කළ අතර, අවශ්‍ය වුවහොත් පොලිසියේ දැනුම් දීම පරිදි එහි ගොස් ප්‍රකාශයක් දිය යුතු බවටත් ප්‍රකාශ කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ කොටුව අරගල භුමියේදී හමුදා අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව කොටුව පොලිසිය භාරයට ගත් විතානලාගේ බන්දුල කුමාර සෝමරත්න, කේ .ඩබ්ලිව්. දීප්ත ලීලාරත්න, චමත් මධුරංග රාජපක්ෂ, නීතිඥ නුවන් සංජීව බෝපගේ, මාධ්‍යවේදී ඒ මධුෂාන් ප්‍රනාන්දු, ජාමුනි හර්ෂ බි. ලක්මාල්, චතුරංග චන්දිමාල් ගමගේ, සාලිංග අනුරංග, රසික සුදර්ශන පීරිස් ,සාලිංග අනුරංග සහ රසික සුදර්ශන පීරිස් යන සැකකරුවෝ වෙති.

ඊයේ (22) සැකකරුවන් හත් දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ අතර සාලිංග අනුරංග සහ රසික සුදර්ශන පීරිස් මෙම සිද්ධියේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

මෙම නඩු කෘත්‍ය සඳහා පෙනී සිටීමට ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, උපුල් ජයසූරිය, සාලිය පීරිස්, සරත් ජයමාන්න, නලින් දිසානායක ඇතුළු නීතිඥවරුන් විශාල පිරිසක් අධිකරණයට පැමිණ සිටි අතර, මාධ්‍යවේදී මධුශාන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥවරුන් 319ක් අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයක් විය. නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ද අධිකරණයේ පෙනී සිටි සියලු නීතිඥවරුන් පෙනී සිටින බව අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

නිති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, අයුතු ඇතුළුවීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටු අවහිර කිරීම එහි සේවයේ නියුතු සේවකයන්ට අයුතු බලහත්කාරය පෑම, අනර්ථය, සාපරාධි ඇතුල්වීම, අයුතු ජනරාශියක් සාමාජිකයන් වී සිටීම මෙන්ම පොදු දේපොළ යටතේ ගැනෙන වරදවල් සිදු කර ඇති බව දැනුම් දෙමින් සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

සැසකරුවන්ට ඇප දෙන ලෙස අධිකරණයට දීර්ඝ ලෙස කරුණු දක්වමින් නිතිඥවරුන් පෙන්වා දුන්නේ ඔවුන් බී වාර්තාවේ සඳහන් වැරදි කිසිවක් සිදු කර නැති බවය. සැකකරුවන්ට එරෙහිව දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කර නැති බව කියා සිටි නීතිඥ මඩුල්ල මෙම නිති කෘත්‍යය ඉවත දමන ලෙසත් එසේ නොමැති නම් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සියල්ල අවධානයට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියෝග කෙළේය.

Leave a Reply

Your email address will not be published.