– දඬුවම වසර තුනකට අත්හිටුවයි
– දස දහසක දඩයකුත් නියම වෙයි
ඉන්ධන තොග තිබියදී සුපර් ඩීසල් ලීටර් 5,813ක් සහ පෙට්‍රල් ලීටර් 1,540ක් සඟවා ගෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ඉන්ධන පිරවුම් හලක කළමනාකරවරයකු එකී චෝදනාවට වරද පිළගත් පසුව ඔහුට මාස තුනක සිර දඬුවම් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඬුවම වසර තුනකට අත්හිටුවීමට ඉකුත් 22 දා නියෝග කළාය.
ඊට අමතරව විත්තිකාර ඉන්ධන පිරවුම් හල් හිමියාට මුදලින් රුපියල් දස දහසක දඩයක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යලි මෙවැනි වැරදි නොකරන ලෙසටත් එසේ එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක්‍රියා කරන බවටත් මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට තරයේ දැන්වීය.
වර්ථමානයේ රටේ පවතින ඉන්ධන අර්බුදය සහ එම ඉන්ධන අර්බුදය හේතුවෙන් මහ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරි වටපිටාව සම්බන්ධයෙන් අධිකරණයේ විශේෂ අවාධානය යොමු කරමින් තමන් මෙම තීන්දුව දෙන බවද මහේස්ත්‍රාත්වරිය කීවාය.
මෙසේ වරද පිළිගැනීමෙන් පසුව දඬුවම් නියම වූයේ අනුරාධපුර ගුවන් තොටුපල පාර අංක 577 ඉන්දික ඉන්ධන පිරවුම් හළේ කළමනාකරු වන සිංහලේ විජේකුමාර යන අයටයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්ච් මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව සඳහා මෙම ඉන්ධන තොග රඳවා තබා ගෙන සිටි බවයි.
කෙසේ වෙතත් වරද පිළිගෙන මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට විත්ති පාර්ශ්වය එකඟ බවද නීතිඥවරයා අධිකරණයට කීවේය. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී ඒ සී පී පෙරේරා මහතා සඳහන් කළේ ඉන්ධන තොග පාරිභෝගික ජනතාවට අළෙවි නොකර විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව සඳහා රඳවා ගන්නා ලෙසට නියම කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයකුට හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වකට නීතිමය අයිතියක් නොමැති බවයි.
ඉන්ධන ලීටර් හත් දහසකට අධික ප්‍රමාණයක් සඟවා තබා ගත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහාම ද යන්න ප්‍රශ්න කළ පෙරේරා මහතා විත්ති පාර්ශ්වයේ එම ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා තරයේ බැහැර කරන බවත් කීවේය.
2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරි පනතේ 16 (අ) වගන්තය ප්‍රකාරව මෙම සැකකාර ඉන්ධන පිරවුම් හල් කළමනාකරුට එරෙහිව අධිකණය හමුවේ නඩු පවරා ඇත.පැමිණිල්ල වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී ඒ සී පී පෙරේරා මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී ඒ සී පී පෙරේරා මහතාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරීන් වන සමන් අබේසිංහ, ඩබ් එම් පී කේ විජේපාල, එස් ඒ සී එම් යුෂ්රන් සහ එල් එම් එස් නාවිමන යන මහත්වරුන් මෙම වැටලීම සිදු කර තිබිණ.
ඉන්ධන තොග සන්තකයේ තිබියදී ඒවා සඟවා තබා ගෙන පාරිභෝගික ජනතාවට අළෙවි නොකිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරුවකු වූ ඉන්ධන පිරවුම් හලක කළමනාකාරුවකුට මෙරට අධිකරණයක් මගින් දඬුවම් නියම කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.