සියලුම ත්‍රි රෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ

ලබන මස පළමුවනදා සිට ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදෙන්නේ එක් පිරවුම්හලකින් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, සියලුම ත්‍රීරෝද රථ තමන්ට අදාල පොලිස් ස්ථානයේ ලියාපදිංචි කරන ලෙසයි.
එහි දී මේ මස 31 වන දිනට පෙර ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හලක් නම් කරන ලෙසත් ලබන මස පළමුවනදා සිට ඉන්ධන ලබා ගැනීමට අවසර හිමි වන්නේ එම ලියාපදිංචි පිරවුම්හලෙන් පමණක් බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා.
මේ අතර කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීමේ කටයුතු අද සිට දිවයින පුරා තෝරාගත් සිපෙට්කෝ සහ අයි.ඕ.සී. පිරවුම්හල්වලදී ක්‍රියාත්මක කෙරෙනවා.
සියලුම පිරවුම්හල් හිමියන් කිව් ආර් ක්‍රමවේදයට අනුගත විය යුතු අතර ඉන්ධන නිකුත් කිරීමේ දී එම පහසුකම සහිත පිරවුම්හල් වෙත ප්‍රමුඛතාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
මේ දක්වා කිව් ආර් කේතය යටතේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට ලක්ෂ 40ක් ලියාපදිංචි වී තිබෙනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙන්නේ, කිව් ආර් කේතය ලබා ගැනීම සඳහා චැසි අංකය ඇතුළත් කළ නො හැකි වාහන හිමියන්ට ලබන සිකුරාදා සිට වාහන ආදායම් බලපත්‍රයේ අංකය ඇතුළත් කළ හැකි බවයි.
එමෙන්ම, එන්ජින් ධාරිතාව 49 යතුරුපැදි භාවිත කරන්නන් තම බලපත්‍ර ලබා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර අදත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබෙන අතර ජනතාව චෝදනා කරන්නේ පිරවුම්හල්වලට සැපයෙන ඉන්ධන ප්‍රමාණය යළිත් සීමා කර ඇති බවට යි.

Leave a Reply

Your email address will not be published.