“කෝච්චියෙන් දවසකට කෝටි 10ක් පාඩුයි” – බන්දුල

දුම්රිය සේවය පවත්වාගෙන යාමෙන් දිනකට රුපියල් කෝටි දහයකට වඩා වැඩි අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා මේ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද හෙතෙම කීය.

දුම්රියේ ගමන් නොකරන මගීන් පවා මේ අලාභය විඳින බව ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ (ජූලි 26) එක්වෙමින් ඔහු පැවසීය.

එය ලංකා ආණ්ඩුවේ සේවාවක් මිස පෞද්ගලික දේපළක් නොවන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

2021 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2.6ක ආදායමක් උපයන විට වැටුප් හා වේතනවලට පමණක් බිලියන 7.8ක් ගෙවා ඇතැයි ද ඔහු කීය.

ආදායමට සාපේක්ෂව සේවක වැටුප් සඳහා එතරම් මුදලක් වැය කරන්නේ කෙසේ ද යන්න ගැටලුවක් බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අලාභය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට වැටුප් ගෙවීම හා ඉන්ධන ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි ද හෙතෙම පැවසීය.

අත්පිට මුදලට ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් සියලු නිලධාරීන් සේවය කළ ද දුම්රිය ධාවනය කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේ ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ ලබමින් සිටින නිසා ණයට හෝ ඉන්ධන ලබා ගත නොහැකි බව ද හෙතෙම කීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 වසරේ අතිකාල දීමනා බිලියන 2.3ක් ගෙවා ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේ ය.

ආදායම රුපියල් බිලියන 2.6ක් වන විට සේවක අතිකාල දීමනා රුපියල් බිලියන 2.3ක් ගෙවීමට සිදුවීමෙන් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා හැකිදැයි යන්න සරල ගණිතය දන්නා අයෙකුට පවා ගැටලුවක් මතුවන බව ද ඔහු පැවසීය.

ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යානොහැකි තත්ත්වයට පත් වූ බව හෙතෙම සඳහන් කළේ ය.

බස් ගාස්තු, ත්‍රීවීල් ගාස්තු, පාසල් වෑන් රථ ගාස්තු, නැව් ගාස්තු, ගුවන් යානා ගාස්තු වැඩි වුවත් දුම්රිය ගාස්තු වැඩි නොවූ බවත් තවදුරට ත් එසේ ගාස්තු වැඩි නොකර දුම්රිය සේවය පවත්වා ගෙන යෑමට ක්‍රමයක් නොවන නිසා දුම්රිය ගාස්තු ද වැඩි කිරීමට සිදු වූ බව ඔහු කීය.

Leave a Reply

Your email address will not be published.