කුසල්ගේ සැත්කමට සහාය දෙනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිසක ඇති වූ ආබාධයකට අදාළ සැත්කමකට වැය වන මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට සූදානම් වෙයි. කුසල් ජනිත්ගේ මේ සැත්කමට අදාළ වියදම් දැරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට පළ වූ පුවතක් සම්බන්යෙන් පැහැදිලි කිරීමක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් මඟින් මේ බව කියා සිටී.

එළැඹෙන ආසියා සහ ලෝක කුසලාන තරගාවලි සඳහා කුසල් ජනිත් සූදානම් කරවීමේ අරමුණින් ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව සමඟ සාකච්ඡා කර, දිගු කලක සිට පවතින මේ ආබාධය සුව කර ගැනීම සඳහා සති 12ක පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාවට නැංවූ බව පවසන ක්‍රිකට් ආයතනය මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා කුසල් ජනිත්ට උපදෙස්දී ඇත්තේ මේ පුනරුත්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කාලසීමාව තුළ කිසිදු ක්‍රිකට් තරගාවලියකට සහභාගි නොවන ලෙසයි. එම වැඩසටහන කල් දැමීම ඔහුගේ ආබාධයට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට දැනුම් දුන් බව නිවේදනයේ සඳහන් වේ. කෙසේ වෙතත් එම පුනරුත්ථාපන වැඩසටහනට නිවැරදි ලෙස සහභාගි නොවූ ඔහු මේ උපදෙස්වලට අවනත නොවී පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කර තිබේ.

එම තරගාවලියෙන් පසුවද කුසල් ජනිත් පුනරුත්ථාපන කටයුතුවලට එක් කර ගැනීමට ක්‍රිකට් වෛද්‍ය කමිටුව තීරණය කර ඇතත් ඔහු අඛණ්ඩව පුනරුත්ථාපන කාර්යයට සහභාගී වීමට අපොහොසත් වූ බවත්, අවසන් වරට ඔහු ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ මේ වසරේ අප්‍රේල් 29 වැනිදා බවත් පවසයි.

එලෙස පුනරුත්ථාපන වැඩසටහනට ඔහුගේ කැපවීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට සිදු වූ බව සඳහන් කරන ක්‍රිකට් ආයතනය එය ක්‍රීඩකයාගේ පැත්තෙන් ප්‍රමාද වන විට ලෝක කුසලානයට සහ ආසියා කුසලානයට ක්‍රීඩකයන් සූදානම් කිරීමේ ක්‍රියාවලියට ඔහු නොගැළපෙන බව පෙනී යන බව ද පවසයි.

මේ සැත්කම සඳහා වැය වන සම්පූර්ණ මුදල දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බවත්, රක්ෂණයෙන් ආවරණය නොවන කොටසින් වැඩි බරක් ක්‍රීඩකයා දැරිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළ බවට පළ වූ වාර්තාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.