කොවිඩ් රෝගීහු 5ක් පෙරේදා මරුට

ඉකුත් පැය 24ට ආසාදිතයෝ 119ක්

කොවිඩ් ආසාදිත පුද්ගලයන් පස්දෙනකු පෙරේදා (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (26) තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් පස්දෙනාම වයස අවුරුදු 60ට වැඩි අය වන අතර, මියගිය පුද්ගලයන් අතර පිරිමි 3ක් සහ කාන්තාවන් 2ක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඊයේ (26) වන විට කොරෝනා ආසාදිතයන් 119ක් වාර්තා වී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැළඳීම ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් ගෝලීය වසංගතයක් නිසා කුමන අවස්ථාවක හෝ අලුත් වයිරස් ප්‍රභේද මෙරටට ඇතුළු විය හැකි බවත් ඒ මහතා පැවසුවේය.

කුමන ප්‍රභේදයක් පැමිණියත් ඒ සියලු ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට නම් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාවන් ලබා ගැනීම වැදගත් යැයි ද හෙතෙම පැවසීය. කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රා හැකි ඉක්මනින් ලබා ගැනීම සඳහා ජනතාව යොමු විය යුතු යැයි ද, එමඟින් ඉදිරි වසරක පමණ කාලයකට කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට අවස්ථාව සැලසෙන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.