මේ දිනවල කතාබහට ලක්වන ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය

මේ දිනවල ධීවර ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙන ‘මාළු ඇප්’ (Fish App) ජංගම යෙදවුම සහ සාගරයේ මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාගර සම්පත් විශ්ලේෂණ ආයතනයේ (INORA) විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාගරයේ මත්ස්‍ය ගහණය ඉහළ ප්‍රදේශ සෘජුව හඳුනාගැනීමට දැනට ලොව කිසිදු සෘජු තාක්ෂණික මෙවලමක් භාවිතයේ නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, ධීවර යාත්‍රාවල ඇති Fish Finders මඟින් ආවරණය වන්නේ යාත්‍රාව අවට ඉතා සීමිත ගැඹුරු ප්‍රදේශයක් පමණක් බව අවධාරණය කරයි.

තාක්ෂණික ක්‍රමවේදය සහ සංකීර්ණ පසුබිම

සාගරයේ මත්ස්‍ය කලාප අනුමාන කිරීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන ක්‍රමවේද රාශියක් දායක කරගන්නා බව රණවක මහතා පෙන්වා දෙයි.

චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය – සාගර ජල මතුපිට උෂ්ණත්වය (Sea Surface Temperature – SST) සහ හරිතප්‍රද සාන්ද්‍රණය (Chlorophyll Concentration) හරහා කුඩා මසුන් සහ ඒවා ආහාරයට ගැනීමට පැමිණෙන විශාල මත්ස්‍යයන් සිටිය හැකි කලාප අනුමාන කළ හැකිය.

සාගර දියවැල් සහ රළ උස – සාගර දියවැල් (Ocean Currents) සහ මතුපිට රළ උස (Wave Height) විශ්ලේෂණයෙන් මත්ස්‍ය ගහන ප්‍රදේශ මෙන්ම ඔවුන්ගේ සංක්‍රමණ රටා (Migratory Patterns)ද පුරෝකථනය කළ හැක.

රාත්‍රී කාලීන චන්ද්‍රිකා ඡායාරූප (VIIRS) – රාත්‍රී කාලයේ මුහුදේ ක්‍රියාත්මක වන ධීවර යාත්‍රා පවතින ප්‍රදේශ නිරීක්ෂණය කරමින් මත්ස්‍ය ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශ හඳුනාගත හැක.

යාත්‍රා නිරීක්ෂණ පද්ධති– VMS (Vessel Monitoring Systems) සහ AIS (Automatic Identification System) මඟින් යාත්‍රාවල ගමන් මාර්ග නිරීක්ෂණය කරමින් යාත්‍රා පොකුරු පවතින ප්‍රදේශ ධීවරයන් වෙත සන්නිවේදනය කිරීම වඩාත් ප්‍රායෝගික හා ලාභදායී ක්‍රමයකි.

මෙම ක්‍රියාවලිය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ධීවර දෙපාර්තමේන්තුව (VMS), නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධ කරමින් සිදුකළ යුතු සංකීර්ණ සහ අධික පිරිවැයක් දරන ක්‍රියාවලියක් බව හෙතෙම පෙන්වා දෙයි.

වත්මන් ‘මාළු ඇප්’ එකේ සීමාවන් සහ පසුබිම

2020 වර්ෂයේදී මිලියන 100 ක පමණ පිරිවැයක් දරමින් කාලගුණ දත්ත සැපයීම සහ අනතුරකදී ස්ථාන නිර්ණය කිරීම සඳහා ජංගම යෙදවුමක් නිර්මාණය කරන ලදී. නාරා (NARA) ආයතනය විසින් 2008/2009 කාලයේ සිට ආරම්භ කරන ලද මත්ස්‍ය ගහන දත්ත 2025 සිට මෙම යෙදවුම හරහා ධීවරයන්ට ලබා දීම සිදුකළද, වෙරළේ සිට නාවික සැතපුම් 20–25ක් පමණ දුරට ගමන් කිරීමේදී ජංගම දුරකථන සංඥා (GSM) අහිමි වීම හේතුවෙන් මෙහි සන්නිවේදන කටයුතු වෙරළ ආසන්න යාත්‍රා සඳහා පමණක් සීමා වී ඇත.

අතීත අත්දැකීම් සහ INORA ආයතනයේ ඉදිරි දැක්ම

2018 වර්ෂයේදීද මෙම යෙදවුමක් ධීවර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළද, එවකට පැවති නිලධාරීවාදී බාධා සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එම අවස්ථාව ධීවර ක්ෂේත්‍රයට අහිමි වූ බව රණවක මහතා සිහිපත් කරයි. එතැන් පටන් වසර අටක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ධීවර ජනතාවට උපරිම මිලක් ලබාදීමේ අරමුණින් ‘Blue Biz Lanka’ නමින් ජාත්‍යන්තර සමාගම් සම්බන්ධ කරගනිමින් වෙන්දේසි වේදිකාවක් මේ වන විට පර්යේෂණ මට්ටමින් නිර්මාණය කර ඇත.

එනම් සරලවම කිවහොත්, මෙහිදී සිදුවන්නේ ධීවරයන්ට තම මසුන් සඳහා වඩාත්ම වාසිදායක සහ ඉහළම මිල ලබා දීම සඳහා ගැනුම්කරුවන් තරඟ කරන ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කිරීමයි.

දැනටමත් වෙබ් යෙදවුම් නිර්මාණය කර අත්දැකීම් ඇති තම ආයතනයට මෙවැනි නවීන තාක්ෂණික යෙදවුමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ පර්යේෂණ පසුබිම සහ ඥානය පවතින බවත්, නිසි අනුග්‍රහයක් ලැබෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකිරීමට හැකි බවත් INORA ආයතනය විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *