පාස්කු නඩුවලින් රනිල් ගලවන්න නීතිපතිගේ ඉල්ලීමට මෛත්‍රීලා විරුද්ධ වෙති

පාස්කු ප්‍රහාරය මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගත් බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර ඇති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් එම නඩුවල සෙසු වගඋත්තරකරුවන් වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස විරුද්ධ වන බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ විධායක ජනධිපතිවරයා වන බැවින් ඔහුට හිමි මුක්තිය අනුව වගඋත්තරකරුවකු ලෙස සලකා තවදුරටත් කටයුතු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන හා නීතිඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් කරුණු දැක්වූ අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එලෙස ප්‍රකාශ කළේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂම්මි පෙරේරා මහතා මෙන්ම සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් වන මනෝහාර ද සිල්වා, සාලිය පීරිස්, සංජීව ජයවර්ධන යන නීතිඥවරුන් ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නම වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය දැක්වූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හිමි මුක්තිය මෙකී නඩුවල වගඋත්තරකරුවකු වන රනිල් වික්‍රමසිංහ මහතාට හිමි නොවන බවට එම නීතිඥවරු විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්හ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් කරුණු දැක්වීම අද (27 දා) පෙරවරු 9.45 ට සිදු කිරීමට දින නියම කළ විනිසුරු මඬුල්ල සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් ලබන 2 වැනිදා කරුණු දැක්වීමට දින නියම කළහ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් කැඳවිණි.

Leave a Reply

Your email address will not be published.