“කඩිනමින් සිව් වන මාත්‍රාව ගන්න” – වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ්-19 වැළඳීම වළක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ත් හැකි ඉක්මණින් 4 වන මාත්‍රාව ලබා ගන්නා ලෙස ත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (ජූලි 26) පැවති මාධ්‍ය හමුවකදී හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ලොව පුරා කොවිඩ්-19 වසංගතයේ නව ප්‍රභේදයක් ඉක්මණින් පැතිර යන අතර පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින්ගේ වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති බව ය.

විශේෂයෙන් ප්‍රසිද්ධ ස්ථානවලදී, පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන් ම විශාල පිරිසක් රැස් වෙන ගෘහස්ථ ස්ථානවලදී මුව ආවරණ පැළඳීම නිර්දේශ කරන බව ත් අනෙකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිසි ලෙස අනුගමනය කළ යුතු බව ත් ඔහු මෙහිදී අවධාරණය කළේ ය.

ජූනි 31 වන දායින් පසු කොවිඩ් එන්නතේ කල් ඉකුත් වීමක් සිදු නොවන බව කියූ ඒ මහතා, සමාගම ඔක්තෝබර් මස 31 වනතුරු එහි කාලය දීර්ඝ කර ඇතැයි වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් වැඩබලන වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ, කොවිඩ් එන්නත පිළිබඳව කිසිදු බියක් ඇති නොකරන ලෙස ය.

Leave a Reply

Your email address will not be published.