කොටිකාවත්ත-මුල්ලේරියාව සභාවේ හිටපු උප සභාපති වෙඩි පහරින් මරුට

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප  සභාපති සුමුදු රුක්ෂාන් (40 ) මහතා මුල්ලේරියාව බැංකුව හන්දියේදී අද (2) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නිහාල් තල්දූව මහතා පැවැසීය.

එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස මියයන තෙක්ම  කටයුතු කළ රුක්ෂාන් මහතා පාතාල නායකයකුවූ කරාටේ ධම්මික නමැත්තාගේ ඥාති පුත්‍රයකු බව ද  පොලීසිය පවසයි.

අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලයකු ලෙස සැලකෙන ජිල්ලා නැමැත්තා මොහුට   මෑතකදී තර්ජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණයවී ඇති අතර ඒ සම්බන්ධයෙන්  විමර්ශනයක් අරඹා ඇතැයි  පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මියගිය රුක්ෂාන් මහතා මුල්ලේරියාව  අඹතලේ පදිංචිකරුවෙකි.

සිද්ධියට  සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලීසියේ නිලධාරීහු   පරීක්ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published.