බරණ ඝාතනයට කොස්තාපල්වරයකු සොයයි

කලාවැව රක්ෂිතයට සහ ඒ අවට පරිසරයට ගාම්භීරත්වයක් සහ සුන්දරත්වයක් එක් කරමින් වසර ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවල සැරි සැරූ බරණ නමින් ප්‍රචලිත දළ ඇතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් කොස්තාපල්වරයකු බවට හඳුනා ගෙන ඇතැයි ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කරයි.

අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු දැනට සේවය කරමින් සිටින ගල්කිරියාගම පොලිස් ස්ථානයට ගොස් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපතිවරයාට සහ සැකකාර පොලිස් කොස්තාපල් වරයාට දැනුම් දුන් අවස්ථාවේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා දුරකථන ඇමතුමක් ලබා ගන්නා මුවාවෙන් වන ජීවී නිලධාරීන් ගෙන් වසන් වී, මේ වන විට පලා ගොස් ඇති බවද පවසන ගල්කිරියාගම වනජීවි කාර්යාලය, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය ද නිවසින්ද ඔහු පළා ගොස් ඇති බවද කීවේය.

මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවී කාර්යාලය මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එහිදී කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණිය ගොඩ මහතා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ බරණ ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මෙහෙයවා ඊට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published.