රට ආර්ථික,දේශපාලන හා සමාජීය වශයෙන් ස්ථාවර කිරීමට පක්ෂ පාටභේද පසෙකලා එක්වන්න

මව්බිම ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ස්ථාවර කිරීමේ පවිත්‍ර අරමුණ උදෙසා මේ මොහොතේදී පක්ෂ, පාට, ජාති, ආගම් මත භේදයන් පසෙකලා, දිනෙන් දින මිය යන මාතෘභූමියේ නාමයෙන් එක්සත්ව එක්සිත්ව එක්වන ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව අද (03) දින ශ්‍රී ලංකා පදනම් ආයකනයේදී මාධ්‍ය හමුවක් අමතමින් ලක් ජනතා පවුර සංවිධානයේ් කැදවුම්කරු බියල් වීරසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

වර්තමානය වන විට මහජනතාව ඉන්ධන, ගෑස්, ඖෂධ යනාදී හිඟයන්ගෙන් පීඩිතව දිනෙන් දින ඉහළ යන උද්ධමනය හමුවේ දරුවන්ගේ කුසට අහරක් සපයා දෙන්නට පවා නොහැකි තත්වයකට පත්ව සිටිනවා. රටේ අධ්‍යාපනය බිඳවැටීම හරහා දරුවන්ගේ මෙන්ම සමස්ථ‍ රටේ හෙට දවස අඳුරු අවිනිශ්චිතභාවයකට පත්ව තිබෙනවා. අවශ්‍ය නොව අත්‍යවශ්‍ය බෙහෙතක් පවා ලබාගත නොහැකිව රෝහල් පද්ධතියේ දෛනික බිඳවැටීම තුළ සමස්ථ මහජනතාවම අනාරක්‍ෂිත භාවයට පත්ව සිටින්නේ, ගෝලීය වසංගත තත්ත්වයන්ට මුහුණදීම කෙසේ වෙතත් අද දවසේ ජීවිත රැකගැනීම පවා අභියෝගයට ලක්කරමින්.

මේ සෑම ගැටළුවකටම ‘රටේ පවතින ආර්ථික හා දේශපාලනික අස්ථාවරභාවය’ ප්‍රධාන හේතුවක්ව පවතින වාතාවරණයක් තුළ ඉහත සංවේදී ගැටළු පිළිබඳව අල්ප මාත්‍රයක හෝ හැඟීමක් නැති  ඇතැම් දේශපාලන නායකයින් හා දේශපාලනික සංවිධාන පීඩිත ජනතාව මතින් සිය පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම උදෙසා පමණක්ම ක්‍රියාත්මකවීම හේතුවෙන් රට දිනෙන් දින තවදුරටත් විනාශය කරා ළඟාවීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව පෙන්වා දිය යුතුයි.

අද වන විට මෙරට නව මාතෘකාව බවට පත්ව ඇත්තේ අගෝස්තු මස නව වනදා කොළඹ පවත්වන අරගලයයි. වර්තමානය වන විට අප සිටින්නේ දැවැන්තම මහජන අරගලයකින් අති විශාල ජයග්‍රහණ ලබාගෙන රටේ විධායක ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් බලයෙන් නෙරපීමෙන් අනතුරුවයි. ‘

ඒ අනුව අද වන විට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියේ ස්වාධිපත්‍ය රැකෙන අයුරින් නව ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත් කරනු ලැබුවා. එවන් පසුබිමක් තුළ ජනතාවට සංවේදී නොවී ජනතාව තුළ නිර්මාණය වී ඇති පීඩනය මතින් හුදෙක් තම පටු දේශපාලන ඉලක්ක සපුරාගැනීමේ අරමුණෙන් පමණක්ම කටයුතු කරමින්, පත්වන සියළු පාලකයින් එළවා දැමීමට මේ මොහොතේ ජනතාව උසි ගන්වා කටයුතු කිරීම අප ඉතා පිළිකුලෙන් හෙළා දකිනවා. එසේ කටයුතු කිරීම තුළ මෙරට ජනතාව විඳින පීඩාවන්ට සහනයක් සැලසීම කිසිසේත්ම කල නොහැකි බවත් රට අරාජිකත්වයට පත්කිරීම තුළ අවසානයේ මහජනතාවට සිය දිවි නසාගැනීම විනා අන් සරණක් නොමැති බවත් නීතියේ ස්වාධිපත්‍යයෙන් ගිලිහෙන සමාජයක් තුළ නැවතත් 88 හා 89 වර්ෂයන්හි මුහුණ පෑ ආකාරයේ භීෂණ සමයකට මේ රට තල්ලුවීමේ හැකියාවක් ඇති බවත් උගත්, පරිණත, බුද්ධිමත් මහජනතාව තේරුම් ගත යුතයි.

එදා අරගලයට මුල්ම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ජනතාව මහමඟට බැස්සේ රැකියා ස්ථානයෙනි. එය රජයේද පෞද්ගලික ක්‍ෂේත්‍රයේදැයි වෙනසක් වුවේ නැහැ. අද අරගලයට පහර දෙද්දි ජනතාව අරගලය වෙනුවෙන් පෙනී නොසිටින්නේ වත්මන් අරගලය තුළ සැබෑ ජනතා මතය පිළිඹිඹු නොවන බව ජනතාව තේරුම් අරන් තියෙන නිසා හෝ මෙය අරගලයක් සිදුකල යුතු කාලයක් නොව සංක්‍රාන්තික සමයක් බව ඔවුන් අවබෝධ කරගත් බැවිනි.

ලක් ජන පවුර’ ලෙස අප කිසිසේත්ම අරගලයට විරුද්ධ වන්නේ නෑ. අපිත් අරගලය නියෝජනය කරනවා. නමුත් මේ අවස්ථාවේ කලයුත්තේ අරගලයේ නායකත්වය, දේශපාලකයින්, විද්වතුන්  හා මහජනතාව යන මේ සියළු පාර්ශ්වයන් එක්ව ඉතා කෙටි කාලයක් තුළ මෙරට දේශපාලනික හා ආර්ථික ස්ථාවරභාවය ගොඩනංවා, ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩ නගන්නා වූ විශ්වාසය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරකම් කඩිනම් කර සංචාරක ව්‍යාපාරය හා  විදෙස් ආයෝජන ඉහළ නැංවීම මෙන්ම රටේ ව්‍යවසායකයින් දිරිමත් කර ඩොලර් හිඟය මඟහරවා ගනිමින් පීඩිත ජනතාව වෙත යම් සහනයක් ලබාදීමට එක්සත්ව කටයුතු කිරීම මිස අඛණ්ඩ විරෝධතාවයන් හරහා රට වසා දමන තැනට පත්කිරීමද? අරගලයේ ප්‍රමුඛ අරමුණ මේ රට ගොඩනැගීම නම් ඒ සඳහා රටක් ශේෂ විය යුතු නොවේද?

අද එක පිරිසක් මැතිවරණයක් ඉල්ලද්දි අරගලය කොටස්වලට කැඩී තම තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් පරස්පර ඉල්ලීම් සඳහා තරඟයක යෙදී සිටිනවා. අපි අරගලයේ නිරත දූ පුතුන්ගෙන්, පක්ෂ විපක්ෂ සියළු දේශපාලකයින්ගෙන්, ස්වෙච්ඡා සිවිල් සංවිධාන වලින් මෙන්ම සමස්ථ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රටේ හෙට දවස වෙනුවෙන් පවිත්‍ර අරමුණක් අරභයා ආරම්භ කල ‘අරගලය’ දේශපාලන කුමන්ත්‍රණයක් බවට පත්කොට නොගෙන, සියළුම දෙනා එක්සත්ව මේ පුංචි රට විනාශයෙන් ගලවාගැනීමේ අරමුණ කරා ළඟාවීමට, පොදු වැඩපිළිවෙලක් වටා එක්සත්ව එක්සිත්ව කටයුතු කරමු යන්නයි.

එවන් ස්ථාවරයකින් අනතුරුව මැතිවරණයක් හරහා තම පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කර දේශපාලන නායකයින්ට තම මතයන් ජයග්‍රහණය කිරීමට හැකි අතරම, එම මැතිවරණය තුළදීම අරගලයේ තේමාව වූ ‘සිස්ටම් චේන්ජ්’ එකද සිදුකරගත හැකි බවද සිහිපත් කරනවා.

නැවත මේ මව්බිම ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ස්ථාවර කිරීමේ පවිත්‍ර අරමුණ උදෙසා මේ මොහොතේදී පක්ෂ, පාට, ජාති, ආගම් මත භේදයන් පසෙකලා, දිනෙන් දින මිය යන මාතෘභූමියේ නාමයෙන් එක්සත්ව එක්සිත්ව එක්වන ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින අතරම ලෝකයේ වැටුණු සෑම ජාතියක්ම නැවත නැගී සිටියේ ජාතිකත්වය නමැති එකම හැඟීමෙන් එක්සත්වීම තුළ බවද විශේෂයෙන් සිහිපත් කරනවා!

Leave a Reply

Your email address will not be published.