එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුභාශිංසන එක් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත පසුගිය දා (අගෝ. 3) විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජය ගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව ය.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පිළිගෙන ඇත.
එසේ කිරීමේදී, මහජනතාව සමග අදහස් විමසීම මෙන් ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලු ම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.
තව ද කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය සඳහා ශ්‍රී ලංකාව දරන උත්සහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය දිරිමත් කිරීමට සහයෝගය පළ කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගු කාලීන අවශ්‍යතා සපුරාලීමට සහය දැක්වීමට සූදානමින් සිටින අතර සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද පවසා තිබේ.