අයිතිකරුට හොරෙන් සුදු ලූණු විකුණන්න ගිහින් අමාරුවේ

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ආනයනය කරන ලද  සුදු ලූනු තොගයකින් කොටසක් අයිතිකරුගේ අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශ්වයකට විකිණීමට ගිය සැකකරුවන් හතර දෙනකු සහ මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරුවන් ගෙන් එක් අයකු කන්ටේනර් රථයේ රියදුරු බවත් අනෙක් සැකකරුවන් 3 දෙනා සුදු ලූණු තොගය බෑමට පැමිණි අත් උදව්කරුවන් ඒ අතර වන බවත් රාගම පොලිසිය පවසයි.

වරායේ සිට ටොන් 10 ක පමණ ආනයනික සුදු ලූණු තොගයක් පටවා ගත් කන්ටේනර් රථය තම ගමන් මාර්ගයෙන් පිටත යමින් රාගම පේරලන්ද ප්‍රදේශයේ කන්ටේනර් නවතා තබන ස්ථානයකට විත් කන්ටේනර් පෙට්ටියට තබා ඇති මුද්‍රාවට හානි නොවන සේ විවෘත කරමින් සුදු ලූණු තොගයෙන් කොටසක් විකිණීමට උත්සහ දැරූ අවස්ථාවේ මෙම සැකකරුවන් 4 දෙනා සහ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව රාගම පොලිසියේ ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ ව්‍යාපාරිකයා සුදු ලූණු මිලදී ගැනීමට රැගෙන ආ රුපියල් 734000 ක මුදලක්ද පොලිස් බාරයට ගත් බව රාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා පැවසුවේය.

කන්ටේනර් රථයේ රියදුරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අත් උදව්කරුවන් තිදෙනා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් රාගම පොලිසිය සඳහන් කළේය.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා,පොලිස් කොස්තාපල් 78997 පෙරේරා,66443 නලින්ද,33250 අසංක,91034 ප්‍රියංකර,96802 ඉලුක්කුඹුර,80613 කුමාර යන මහත්වරුන් වැටලීම සිදු කළේය.

Leave a Reply

Your email address will not be published.