සංවර්ධන අධිකාරිය සතු නිවාසවල වෙසෙන සියලු දෙනාට ස්ථීර ඔප්පු – ඇමති ප්‍රසන්න

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාසවල ජීවත්වන මෙතෙක් ස්ථීර හිමිකම් ඔප්පු නොලැබුණු පවුල් සදහා කඩිනමින් එම ඔප්පු ලබා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද රජයේ මහල් නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දීම සදහන් වන බැවින් එය කඩිනමින් ඉටුකළ යුතු බවද ඇමතිවරයා සදහන් කළේය.  

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදීයි. එම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (09) දින පැවැත්විණි.  

දැනට වැඩ අවසන් කර ඇති එහෙත් ප්‍රතිලාභී පවුල් වෙත මෙතෙක් ලබා නොදුන් හිමිකම් ඔප්පු කඩිනමින් එම ජනතාවට ලබා ලෙසත්, ඔප්පු සකස් කිරීමේ ක්‍රියාවලිය තුළ තවම වැඩ අවසන් වෙමින් පවතින ඔප්පුවල කටයුතු කඩිනම් කරන ලෙසත්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙහිදී අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ වසර තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නීති අංශයට ලැබී ඇති හිමිකම් ඔප්පුවලට අදාළ මුළු ලිපි ගොනු සංඛ්‍යාව 2,033 කි. ඉන් ලිපි ගොනු 1,996 කට අනුමැතිය ලැබී ඇත. හිමිකම් ඔප්පු 1,035 ක වැඩ අවසන් කර ඇති බව එම අධිකාරිය පවසයි.

දැනට ප්‍රතිලාභීන් වෙත ලබා දී ඇති හිමිකම් ඔප්පු ප්‍රමාණය 822 කි. හිමිකම් ඔප්පු 961 ක වැඩ කෙරෙමින් පවතින බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙම හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නංවයි. එහි වාර්ෂික ඉලක්කය වන්නේ හිමිකම් ඔප්පු 1,000 ක් ප්‍රතිලාභීන් වෙත ලබා දීමයි.

දීර්ඝ කාලයක් තිස්සේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාසවල ජීවත්වන පවුල් සදහා ස්ථීර හිමිකම් ඔප්පු කඩිනමින් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. 

මෙම සාකච්ඡාව සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිළධාරීන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.