ඔස්ට්‍රේලියාව දිනූ තෑගි මුදල් අපේ දරුවන්ට පරිත්‍යාග කරයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දරුවන්ට උපකාර කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 45,000ක මුදලක් (රුපියල් එක්කෝටි පනස්නව ලක්ෂ හැත්තෑපන් දහසක්) පරිත්‍යාග කරයි. යුනිසෙෆ් සංවිධානය හරහා මේ මුදල් පරිත්‍යාග්‍ය ශ්‍රී ලංකාවට එවා ඇති අතර, ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ යුනිසෙෆ් තානාපතිවරයා ද වන නායක පැට් කමින්ස් සහ එක්දින කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් මූලිකත්නය ගෙන ඇත.

ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් ක්‍රිකට් තරගවලට පමණක් සීමා නොවී ශ්‍රී ලංකාව තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සිය දෑසින්ම දැක සංචාරය අතරතුරදී අදහස් පළ කරන්නට විය. එමෙන්ම ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස අන්තර්ජාතික ප්‍රජව හමුවේ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ ආයාචනා කළහ.

මේ හේතුවෙන් නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේදී හිමි වූ ත්‍යාග මුදල් මෙලෙස යළිත් ශ්‍රී ලංකාවටම පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය හේතුවෙන් ආහාර, ඛනිජ තෙල්, ඖෂධ, ඇඳුම් පැළඳුම් ඇතුළු අත්‍යවශ්‍ය නිෂ්පාදනවල දැඩි මිල ගණන් ඉහළ ගොස් ඇති හෙයින් ත්‍යාග මුදල යුනිසෙෆ් හරහා පරිත්‍යාග කිරීම අපට පහසු තීරණයක් වූ බව නායක පැට් කමින්ස් විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අර්බුද හමුවේ උදව් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 2021දී, නායක පැට් කමින්ස් සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ඉන්දියාවේ කොරෝනා අර්බුදයේදී ඔක්සිජන් සැපයුම් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 50,000 පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි20 තරගාවලිය ඔස්ට්‍රේලියාව ජය ගත් අතර, එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. ගාල්ලේ පැවැති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වට පත් විය.

Leave a Reply

Your email address will not be published.