පොලොන්නරුව – වැලිකන්ද කැලේට ගිය ඉන්ධන ටැංකි ඇමැති නිරීක්ෂණය කරයි

පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රියස්ථානවලට යාබද භාවිතයට නොගෙන අතහැර දමා ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල ඇති තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර යළි ඉන්ධන ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.

ඉන්ධන ලීටර ලක්‍ෂය බැගින් ගබඩා කළ හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 3 ක් පොළොන්නරුව දුම්රිය ස්ථානයට ආසන්නයේ ද, ඉන්ධන ලීටර 54,000 බැගින් ගබඩා කළ හැකි ටැංකි 5 ක් වැලිකන්ද දුම්රිය ස්ථානයට ආසන්නයේ ද, ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් එම තෙල් ටැංකි ප්‍රයෝජනයට නොගැනීම නිසා වල්බිහි වී ඇති බවත් අමාත්‍යවරයා කීය.

දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී දැරීමට සිදුවන්නේ අවම පිරිවැයක් බව පැවසූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ එළඹෙන සතිය තුළ මෙම ටැංකි පද්ධතිය නවීකරණය කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බවත්ය.

එම ටැංකිවල තත්වය පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන අසළ ඇති තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය.

වසර 33ක් තිස්සේ දිරායන ඉන්ධන ටැංකි ගැන ලංකාදීප පුවත්පතේ පළ වූ වාර්තාවෙන් පසු අමැතිවරුන් සහ අදාල බලධාරීන් මෙම ඉන්ධන ටැංකි නිරීක්ෂණ කළේය.

මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ දුම්රිය සාමාන්‍යයාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.