අබුඩාබි පොලිසියෙන් අත්අඩංගුවට ගත් කොටි ප්‍රබලයා මෙරටට

පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂඥයකු වන රතු නිවේදනයක් නිකුත් කර ඇති එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ ප්‍රබලයෙක් අබුඩාබිහිදී එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දී තිබේ. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අබුඩාබි වෙත ගොස් එම ත්‍රස්තවාදියාව භාරගෙන මෙරටට ඊයේ (11) රැගෙන විත් ඇත. ඒ අබුඩාබි සිට පැමිණි ගුවන් යානයක විශේෂ ආරක්ෂාවක් සහිතවය. මෙසේ අබුඩාබියේ රැඳී සිටි ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගෙන මෙරටට භාර දෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

රාසනායගම් තවනේසම් නමැති මේ එල්.ටී.ඊ. ප්‍රබලයා බෝම්බ සකස් කිරීම් සම්බන්ධයෙන් විශේෂඥයකු බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හඳුනාගෙන තිබේ. යුද්ධය පැවති සමයේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ පිපිරවීම් රැසක ප්‍රධාන සැකකරුවකු ලෙස ඔහුව හඳුනාගෙන තිබිණි.

වයස අවුරුදු 48ක් වන ඔහු යුද්ධය අවසන් වනවාත් සමඟ මෙරටින් පලාගිය ත්‍රස්තවාදීන් අතර සිටියෙකි.

මේ එල්.ටී.ටී.ඊ. යේ බුද්ධි අංශයේ ප්‍රබලයා ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවාගෙන මේ වන විට විමර්ශන පවත්වමින් ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.