කැමති අය එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා! – අමාත්‍ය විජේදාස රාජපක්ෂ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහය දීමට කැමති ඕනෑම කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු ඒ බව අද (13) ප්‍රකාශ කළේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල ම එකතු කර ගන්නට නො හැකි වුවහොත්
පක්ෂ බහුතරයකගේ සහයෝගය ලබාගැනීම මීළඟ හොඳ ම විකල්පය බවයි.
එසේ ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියා.
රටේ ප්‍රශ්න විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ අදහස අප්‍රේල් මස මුල් සතියේදී ඉදිරිපත් කළ ආකාරය ඔහු සිහිපත් කළ අතර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම්වලට සම්මුතියක් ඇති කර ගැනීමට නො හැකි වීම හේතුවෙන් රට තුළ ප්‍රශ්න උග්‍ර වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තවමත් බලාපොරොත්තුවෙන් සිටින බව ද අධිකරණ අමාත්‍යවරයා එහි දී කියා සිටියා.
මේ අතර මාධ්‍යවේදීන් විසින් චීනයේ Yuan Wang-5 නෞකාවේ ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් විමසූ විට අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට විරුද්ධ වීම හේතුවෙන් තමාව අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published.