ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින පුද්ගලයන් සහ මෙතෙක් ඉවත් නොකරන ලද කූඩාරම් ගලවා ඉවත් කිරීමේ කටයුතු පොලිසිය මැදිහත්ව ඊයේ (12) පෙරවරුවේ සිදු කෙරිණි.
විනාඩි 15ක් ඇතුළත කුඩාරම් ඉවත් කරගෙන ගාලුමුවදොරින් ඉවත් වන ලෙස පොලිසිය එහි රැඳී සිටි පිරිස දැනුම්වත් කළ අතර, ඒ අනුව ඔවුන් ඒවා ගලවා ගෙන යෑමට පියවර ගත්තේය.
අදාළ ඉවත් කිරීම සිදු වන අවස්ථාවේ ගාලුමුවදොර පොලිසිය හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද පැමිණ සිටියහ.
එමෙන්ම අරගල භූමිය පිහිටි ප්රදේශයට පොලිසිය හා විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව තර කර තිබිණි.
තමන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වුවද, රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ඉවත්ව යන තෙක් අරගලය ක්රියාත්මක බවත් තම අරමුණු ඉටු වෙන තෙක් අරගලය නොනවත්වන බවත් අරගලකරුවන් පසුගියදා ප්රකාශ කර තිබිණි.
එහෙත් අරගලයේ නිරතව සිටි කණ්ඩායම් පළමු පොලිස් දැන්වීමට අනුව ඉන් ඉවත්ව ගිය අතර, ඊයේ වන තෙක් ඉතිරිව සිටියේ කුඩා ආහාර කඩ පවත්වාගෙන ගිය 20කට අඩු පුද්ලයන් පිරිසකි.
ඔවුන් එහි රැඳී සිටිමින් කියා සිටියේ ඔවුන් නියම අරගලකරුවන් බවය. අරගලකරුවන් නොවන පිරිසද ගාලුමුවදොර භූමිය හැර ගිය බව කියා සිටි මේ පිරිස පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේ තමන්ට කෑමට ආහාර වත් නැති බවය.