ලෝක ප්‍රකට ළදරු පවුඩර් නිෂ්පාදන සමාගමක් හදිසියේ ගත් තීරණය

ටැල්ක් මත පදනම් වූ ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය කිරීම සහ විකිණීම ලබන වසරේ සිට නවතා දමන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ලොව දැවැන්ත ඖෂධ සහ විලවුන් නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, එක්සත් ජනපදයේ එම නිෂ්පාදන අලෙවිය අවසන් කර වසර දෙකකට වැඩි කාලයකට පසුව මේ බව නිවේදනය කර ඇති බව ය.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් විසින් නිෂ්පාදනය කරනු ලබන ටැල්කම් පවුඩර්වල, ඇස්බැස්ටෝස් අඩංගු වීම හේතුවෙන් ඩිම්බ කෝෂ ආශ්‍රිතව පිළිකා ඇති කළ බවට චෝදනා කරන කාන්තාවන් පැවරූ දස දහස් ගණනක නඩුවලට එම සමාගම මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, දශක ගණනාවක් පුරා සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ මගින් එම නිෂ්පාදනය භාවිත කිරීම ආරක්ෂිත බව පෙන්නුම් කරන්නේ යැයි සමාගම සිය මතය නැවත අවධාරණය කර තිබේ.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ලෝක ව්‍යාප්තව සිදු කරන ද පර්යේෂණවල තක්සේරුවක කොටසක් ලෙස, සිය ළදරු පවුඩර් නිෂ්පාදන, ඉරිඟු පිෂ්ඨය මත පදනම්ව සිදු කිරීමට වාණිජමය තීරණයක් ගෙන ඇති බවය.

ඒ අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස ටැල්ක් මත පදනම්ව සිදු කරන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පවුඩර් නිෂ්පාදනය 2023 වසරේදී ගෝලීය වශයෙන් නවතා දමන බව එම සමාගම අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

ඉරිඟු පිෂ්ඨය පදනම් කරගත් ළදරු පවුඩර් දැනටමත් ලොව පුරා රටවල අලෙවි කරන බව එම සමාගම වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, සිය ටැල්ක් නිෂ්පාදනවල ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය නොවෙනස්ව පවතින බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published.