වරදක් තියෙනවා නම් දඬුවම භාරගන්නවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිහිනුම් ශූර ජූලියන් බෝලිං ඇතුළු දෙදෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
ඔහු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු අනෙක් පුද්ගලයා ව්‍යාපාරිකයෙක් වන අතර, ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.
පෙරවරු 9.30ට පමණ පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමට අදාළව සිදු කෙරෙන විමර්ශලවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
ප්‍රකාශයක් ලබාදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිහිනුම් ශූර ජූලියන් බෝලිං කියාසිටියේ තමාගේ වරදක් ඇත්නම් ඊට අදාළව දඬුවම භාර ගැනීමට සූදානම් බවයි.
තමාගේ නිවස පිහිටා ඇත්තේ ද ජනාධිපතිවරයාගේ ගිනි තැබීමට ලක්වූ නිවස පිහිටි මාර්ගයේම වන බැවින් මෙම ප්‍රශ්න කිරීම් සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළා.
කෙසේවෙතත් තමා මෙම සිද්ධියට අදාළව වරදක් සිදුකර නොමැති බවයි ජුලියන් බෝලිං සඳහන් කළේ.
තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් කලකිරීමක් නොමැති අතර පරීක්ෂණවලට සහයෝගය ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර ජනාධිපති මන්දිරයෙන් අස්ථානගත වූ සහ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් ලද වාර්තාව පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමට අනුව ඊට අදාළ ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් බවයි.
ඒ අනුව අස්ථානගත වූ භාණ්ඩ පිළිබඳ විමර්ශන සිදුකෙරෙන අතර භාණ්ඩ පිළිබඳ ලැයිස්තුගත කිරීම් ද තවදුරටත් සිදු කෙරෙනු ඇති.
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන් හි සිදුකරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර පොල්දූව මංසන්ධිය අසල පැවති විරෝධතාවයේ දී පොලිස් නිලධාරීන්ට සහ යුද හමුදා සෙබලුන්ට පහරදීම සහ ගිනි අවි කොල්ලකෑම් මෙන්ම දේපළවලට අලාභහානි සිදුකළ පිරිස් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.
එම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන මගින් හඳුනා ගන්නා ලද 37 දෙනෙකුගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718 – 591 733 සහ 0712 – 685 151 යන දුරකතන අංකවලට සහ 1997 යන ක්ෂණික දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි පොලීසිය නිවේදනය කරන්නේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපළවලට හානි කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.