ත්‍රිරෝද රථ නියාමනයට විශේෂ වැඩපිළිවෙළක්

කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට

ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සියලු පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා දිනමිණට ඊයේ (19) පැවසීය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කර ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඉන් අනතුරුව එය නීති කෙටුම්පත් අංශයට යොමු කරන බව කියා සිටි ඒ මහතා මින් පෙර ඉදිරිපත් වූ අයවැය මගින් ත්‍රිරෝද රථ නියාමනයට ජාතික අධිකාරියක් පිහිටුවීමට යෝජනා වූ බවත් ඒ හේතුවෙන් මෙය ප්‍රමාද වූ බවත් කියා සිටියේය.

මේ අනුව කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් ත්‍රිරෝද රථ නියාමනයට අදාළ ගාස්තු නිර්ණය කිරීම, නියාමනය, උපදෙස් දීම, මාර්ගෝපදේශනය ඇතුළු කාරණා කරනු ලබන අතර, ඉන් අනතුරුව ඊට අදාළ නීති රෙගුලාසි සකස් කර එය ක්‍රියාත්මක කිරීමේ බලය පළාත් නවයට යොමු කිරීමට නියමිත බවද හෙතෙම කීවේය.පළාත් සභා නවය හරහා සියලු ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම කළ යුතු බවත් පළාත් සභා හරහා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩි දුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published.