සහනයක් නැත්නම් සදුදා සිට බිත්තර නැහැ – නිෂ්පාදකයන් කියයි

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එසේම, දිවයිනේ විවිධ ප්‍රදේශවල බිත්තර නිෂ්පාදකයින්ද ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට විරෝධය පළ කළා.
බිත්තර මිල පිළිබඳ ගැටලු‍වේ උපරිම තත්ත්වය වාර්තා කරමින් බිත්තරයක මිල රුපියල් 60 සීමාව ද ඉක්මවා ගිය පසුබිමක ඊට මැදිහත් වූ වෙළෙඳ අමාත්‍යවරයා බිත්තර නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරමින් බිත්තර මිල අඩු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.
එසේ නොවන්නේ නම් පාලන මිලක් ගෙන ඒමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමු වී සාකච්ඡා කළ අතර, එහිදී තීරණය කෙරුණේ ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 05 කින් පහත දැමීමටයි.
එවන් පසුබිමක ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක් වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
මේ අතර බිත්තර මිල පහළ දැමීමත් සමඟ බිත්තර කෑම පාර්සලයක මිල ද පහළ යනු ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියා.
කෙසේ වෙතත් බිත්තර සඳහා උපරිම මිලක් පැනවීම අසාධාරණ බවට පවසමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරිකයින් පිරිසක් අදත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණියා. කෙසේ වෙතත්, ඔවුන්ට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවුණේ නැහැ.
අනතුරුව ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සිය ගැටළු‍ව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
කෙසේ වෙතත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ කියා සිටියේ නිකුත් කළ මෙම ගැසට්ටුවේ ගැටළු පවතින බවයි.
බිත්තර සඳහා පැනවූ උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බිත්තර වෙළෙඳුන් දැනුවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අද කටයුතු කළා.
එහිදී වැඩි මිලට බිත්තර අළෙවි කිරීම සඳහා මිල ප්‍රදර්ශනය කර තිබූ පුවරු ඉවත් කිරීමටයි පියවර ගැනුණේ.
හිරු ප්‍රවෘත්ති අංශය පාරිභෝගික අධිකාරියෙන් කළ විමසීමකදී කියා සිටියේ බිත්තර වැඩි මිලට අලෙවි කරන ව්‍යාපාරිකයින්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී සති අන්තයේ අවවාද කිරීමට පමණක් කටයුතු කරන බවයි. සඳුඳා දිනයේ සිට ඊට අදාළ වැටලීම් සිදුකිරීමට නියමිතයි.
මේ අතර, කුකුළු මස් මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.