නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මහජන දිනයට වාසුත් ඇවිත්

පසුගිය කාලයේ දී රට තුළ පැවැති වාතාවරණය හේතුවෙන් මහජන දින පැවැත්වීම විධිමත් ලෙස සිදු නොවු අතර මේ වන විට එය නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මහජන දිනය බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන ශ්‍රවණාගාරයේ දි අද(22) සිට යළි ආරම්භ කෙරිණි.

මෙම මහජන දිනය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හිම සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල් හෝ සාමාන්‍යාධිකාරීවරුන්ටද සහභාගී වීම ඇමතිවරයා අනිවාර්ය කර තිබු අතර ඒ සදහා ඔවුන් සියලුදෙනා සහභාගී වී සිටියහ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අද පැවති මෙම මහජන හමුවට මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, වාසුදේව නානායක්කාර මහතාද පැමිණ සිටියේය.

නුගේගොඩ ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන ගැටළුවක් එහිදී වාසුදේව මන්ත්‍රිවරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කළේය. විනාඩි කීපයක් තුළ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගැටළුවට විසදුම් ලබාදීමට ඇමති ප්‍රසන්න රණතුංග මහතා පියවර ගත්තේය.

මහජන දිනය ආරම්භ කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේ ජනතාව සතිපතා ඉදිරිපත් කරන ගැටළුවලට එම සතියේදීම පිලිතුරු ලබාදී ඒ සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි.

කිසිවිටෙකත් ජනතාව රස්තියාදු නොකළයුතු බව කී අමාත්‍යවරයා එම ගැටළු ඊළග මහජන දිනයකට ඉදිරිපත් නොවීමට සියළුම නිලධාරීන් වගබලාගත යුතු බවද දැඩිව අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published.