ආසියානු කුසලානය දිනන පිලට රුපියල් මි. 72ක සල්ලි මල්ලක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක (රුපියල් මිලියන 72ක්) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සූදානම් වෙයි. එමෙන්ම අවසන් තරගයේදී පරාජයට පත්වන අනුශූර කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂයක (රුපියල් මිලියන 36ක්) මුදලක් පිරිනැමීමට තීරණය වී තිබේ.

2018 වසරේ අවසන් වරට පැවැති ආසියානු කුසලානය දිනාගත් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 60,000ක ත්‍යාග මුදලක් හිමිවූ අතර දෙවන ස්ථානයට පත් වූ අනුශූර බංග්ලාදේශ පිලට අමෙරිකානු ඩොලර් 30,000ක් ප්‍රදානය කෙරුණි. ඒ අනුව පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට වඩා සියයට 180කින් පමණ ත්‍යාග මුදල් වැඩිවීමක් මෙවර සිදුව තිබේ. තරගාවලියට එක්ව සිටින අනුග්‍රාහකයන් ගණන හා එහි අගය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත ත්‍යාග මුදල් ඉහළ දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට හැකියාව ලැබී ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 80,000ක් (රුපියල් මිලියන 29ක්), සිවුවැනි ස්ථානයට අමෙරිකානු ඩොලර් 60,000ක් (රුපියල් මිලියන 21ක්), පස්වැනි ස්ථානයට අමෙරිකානු ඩොලර් 40,000ක් (රුපියල් මිලියන 14ක්) හා හයවැනි ස්ථානයට අමෙරිකානු ඩොලර් 20,000 (රුපියල් මිලියන 7ක්) පිරිනැමේ.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 6ක් ඇතුළත් වන අතර සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය නිල වශයෙන් ස්ථාන තහවුරු කර සිටිති. ආසියානු කුසලානයේ හයවන කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං සුදුසුකම් ලැබීමේ තරගාවලියට මේ දිනවල එක්ව සිටියි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරග වීරයන්ට, අවසන් තරගයේ වීරයාට හා තරගාවලියේ වීරයාට හිමි තෑගි මුදල පිළිබද විස්තර තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර එය තරගාවලිය ආරම්භයට පෙර දැනුම්දීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සූදානමින් සිටී.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද, රටේ බරපතල දේශපාලන හා ආර්ථික ගැටලු හේතුවෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑමට ආසියානු ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුව තීරණය කළේය. ඒ අනුව මෙම තරගාවලියේ මංගල තරගය මේ 27දා ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතය.

මෙතෙක් පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ශූරතා 7ක් ඉන්දියාව දිනා ඇති අතර ශ්‍රී ලංකාව අවස්ථා 5කදී හා පාකිස්තානය අවස්ථා 2කදී ආසියානු කුසලානය ජයග්‍රහණය කළේය. බංග්ලාදේශය තවමත් ආසියානු කුසලානය දිනා නැති වුවද අවස්ථා 3කදී අනුශූරයන් බවට පත් විය.

Leave a Reply

Your email address will not be published.