තාරුණ්‍යයත් සමග පාරට බහින්න සජිත් සුදානමින්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන තරුණයින් දඬයම් කරන යුගයක් රජය විසින් නිර්මාණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මොහොත වන විට වසන්ත මුදලිගේ ඇතුළු කිහිපදෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

තරුණ පරම්පරාව දැවැන්ත යුග පෙරළියකට නායකත්වය ලබාදුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට ආගාධයට දැමූ ජනාධිපතිවරයා පළවා හැරීමට හැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

“මම අහන්න කැමතියි මෙහෙම ද මේ රටේ තාරුණ්‍යයට සලකන්නේ. මහ පාරේ ගිහින් තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරද්දි, රැස්වීමකට සහභාගී වෙනකොට, තමන් විශ්වස කරන දේ ගැන කතා කරද්දි එය ත්‍රස්තවාදය ද? අද අපේ රටේ තාරුණ්‍ය LTTE ගාණට පත්කරලා හමාරයි මේ රජය. වහාම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ඉවත් වෙන්න. වහාම රාජ්‍ය හිංසනයෙන් ඉවත්වෙන්න. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කරගෙන මේ රටේ තාරුණ්‍ය දඬයම් කිරීම වහාම නතර කරන්න. එසේ නොකළහොත් අපට සිදුවෙනවා මේ රටේ සමස්ත තාරුණ්‍යයත් සමග මහ පාරට බැහැලා තාරුණ්‍යයේ අයිතිය වෙනුවෙන් දැවැන්ත අරගලයකට ප්‍රවේශ වෙන්න. අපි විශ්වාස කරනවා මේ රජයට මේ ජනාධිපතිවරයා ට යම් හැඟීමක් තියෙයි කියලා මේ අත්අඩංගුවට ගත් තරුණයින්ව ඉතා ඉක්මනින් නිදහස් කරන්න. ඒ යුතුකම කරුණාකරලා මේ රට වෙනුවෙන් ඉෂ්ඨ කරන්න. තාරුණ්‍ය වෙනුවෙන් ඉෂ්ඨ කරන්න. ඒක තමා රටේ සියලුදෙනාගේ බලාපොරොත්තුව. අද රටේ ජනමතය තියෙන්නේ තරුණ තරුණියන් එක්ක. “

Leave a Reply

Your email address will not be published.