මට සහාය දුන් මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව වෛරීව සලකනවා

තමාට මෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී තමන්ට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව වෛරී ආකාරයෙන් සලකන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීමේදී, තමා වෙත ඍජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තම පිළිකුල හා විරෝධය පළ කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී, රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරවු කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටි බොහෝ දෙනකු මෙසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩනයට ගොදුරුව ඇතැයි ද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

අගමැතිතුමනි, එක් අතකින් ජනාධිපතිවරයා විසින් රට ගොඩනැඟීම සඳහා සියලු භේද පසෙකලා සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා යෝජනා කරන අතරතුර අනෙක් අතට, ජනාධිපතිවරණයේ ඔහුගේ ප්‍රවර්ධන ප්‍රතිවාදියා ද, ඔහුගේ සමීපතයන්ද මෙලෙස දඩයම් කිරීම තුළින් නැවත නැවතත් පිළිඹිබු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව, ගිලන්ව සිටින ශ්‍රී ලාංකේය කෛරාටික දේශපාලනයේ නෂ්ටාවශේෂ නොවේ ද? දැයි එම ලිපියෙන් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

ඩලස් අලහප්පෙරුම මහතා විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට යොමු කර ඇති ලිපියේ මෙසේද සඳහන්ය.

“නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී, ජුලි 20 දා පැවති ජනාධිපතිවරණයේදී මා වෙත ඍජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කොට තිබේ. එසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩනයට ගොදුරුව ඇති ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරවු කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටි මහජන නියෝජිතයන් බැවින් ඒ පිළිබඳ මාගේ කනගාටුවද විරෝධයද එයට උරුම වූ පිළිකුලද පළමුවෙන්ම මම මෙසේ සටහන් කරමි.

“කථානායකතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබූ ලේඛනවලට අනුව, පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා පත් වීම් කිරීමේදී මෙහෙයුම් කමිටුවේ අඛණ්ඩව දශක ගණනාවක් සේවය කළ මා ඉවත්කොට තිබීම අශීලාචාර වුවද අසංස්කෘතික දේශපාලන පරිසරයක එය තේරුම් ගත හැකි කරුණකි. එහෙත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාගේ නම ස්ථිර කරනු ලැබූ මෙන්ම, මා මෙන්ම දිගු කාලයක් එම කමිටුව නියෝජනය කළ ජාත්‍යන්තරය පිළිගත් බුද්ධිමතකු වන පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා ඉවත් කිරීම මෙන්ම ජනාධිපතිවරණයේදී මාගේ ගණන් කිරීමේ නියෝජිතයා වූ නීතිඥ ඩිලාන් පෙරේරා සහ මාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියකු වූ ආචාර්ය නාලක ගොඩහේවා යන මන්ත්‍රීන් දෙපළ ජාතික වගකීමක් සේ සලකා මහත් කැපවීමෙන් කටයුතු කළ ගිණුම් කාරක සභාවෙන් නෙරපා හැරීම නිසැකවම ස්වාභාවික යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයන්ද උල්ලංඝනය කිරීමකි.

“කථානායකවරයා විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළද, ඉහත සඳහන් කප්පාදු කිරීම්වලට අමතරව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපතිවරයා ලෙස දූෂණයන්ට එරෙහි අනම්‍ය පිළිවෙතක සිට කටයුතු කොට මහජන ගෞරවය ඉහළින් දිනාගත් මහාචාර්ය චරිත හේරත් මහතාගේ නමද ආණ්ඩුවේ ලේඛනයෙන් උගුල්වා පාර්ලිමේන්තුව වෙත යොමු කොට ඇති බවද, ඔහු මා නියෝජනය කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියකු ලෙස කටයුතු කළ බවද ඔබතුමාට රහසක් නොවේ. එසේම මේ කමිටුව නියෝජනය කරනු ලැබූ ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයාද මාගේ සමීපතම ආධාරකරුවකු වීම හේතුවෙන් මෙහිදී ආණ්ඩුවේ උදහසට ලක්ව ඇත.

“මේ අනුව, නිසැකවම පැහැදිලි වනුයේ මීට දින 21ට පෙර ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළි දක්වා ඇත්තේ අරුත්සුන් හිස් ප්‍රලාපයක් බව පමණි. එම නිසා ජන සම්මතවාදය සහ ලිච්ඡවි ප්‍රතිපත්ති පිළිබඳ උස් හඬින් කථා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත ලෙස සලකන පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ‘ප්‍රජාතන්ත්‍ර’ ආදේශ කිරීමකියි යන මාගේ නිර්වචනය කාරුණිකව පිළිගනු මැනවි.”

Leave a Reply

Your email address will not be published.