හාල් අරන් රට වටේට කෝටි දෙකහමාරක් පොලු තිබ්බ ‘හාල් සමීර’ STF දැලේ

මෙරට ප්‍රධාන පෙළේ හාල් ව්‍යාපාරිකයන්ගෙන් හාල් මිල දී ගෙන අගරු චෙක් පත් දෙමින් රුපියල් ලක්ෂ 245කට අධික මුදලක් වංචා කර සැඟවී සිටි හාල් සමීර නමැති ව්‍යාපාරිකයකු ගිනි අවි රැසක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.

වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍රනාන්දු නොහොත් හාල් සමීර නමැති මේ සැකකරුව විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ පත්තඬුවන පිහිටි කුලී නිවෙසක සැඟවී සිටියදී පෙරේදා (22) රාත්‍රී කාලයේදීය.

එම කුලී නිවෙසේ සඟවා තිබී ඉතාලියේ නිෂ්පාදිත රිවෝලවර 02ක් , චීනයේ නිෂ්පාදිත ෂොට්ගන් වර්ගයේ අවියක්, කඩුවක්, 09 මිලිමීටර පතරොම් 10ක්, 0.38 වර්ගයේ පතරොම් 02ක්, බෝර 12 පතරොම් 11ක් විශේෂ කාර්ය බළකාය මඟින් සොයාගෙන තිබේ.

මේ ගිනි අවි මහනුවර පුද්ගලයකුගෙන් මිල දී ගත් බව ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත. එම පුද්ගලයාව තමාට මුණගැසුනේ හිර ගෙදරදී බව ද ඔහු පවසා තිබේ.

මීගමුව කොච්චිකඩේ පදිංචිකරුවකු වන ඔහු හාල් ව්‍යාපාරිකයෙක් ලෙස එම ප්‍රදේශයේ නමක් දිනා සිටි අයෙකි. ව්‍යාපාර බංකොලොත් වීමත් සමඟ අගරු චෙක් පත් දෙමින් හාල් මිල දී ගැනීම් රැසක් සම්බන්ධයෙන් පසුව ඔහුට චෝදනා එල්ල වී ඇතැයි ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් මාරවිල, නාවුල, දෙහිඅත්තකණ්ඩිය, මිනුවන්ගොඩ, කුලියාපිටිය, මහව, මාරවිල, හම්බන්තොට, මීගමුව යන අධිකරණවල ඔහුට එරෙහිව නඩු රැසක් විභාග වන බවත් එම නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු 14ක් ද ඔහුට එරෙහිව ඇති බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

එම අධිකරණවල ඔහුට එරෙහිව විභාග වන නඩුවලට අදාළව පමණක් රුපියල් ලක්ෂ 245කට අධික මූල්‍ය වංචා චෝදනා ඔහුට එරෙහිව ඇත.

2015 වසරේ සිට ඔහුට එරෙහිව මේ වංචා චෝදනා එල්ල වී තිබේ. මුල් කාලයේදී ඔහු හාල් මිල දී ගෙන අගරු චෙක් පත් දෙමින් වංචාවල නිරතව සිට ඇතත් පසුව ගෘහ භාණ්ඩ, ගොඩනැඟිලි ද්‍රව්‍ය මෙන්ම කුළුබඩු ද මිල දී ගෙන අගරු චෙක් පත් දෙමින් වංචාවල නිරත වීම වෘත්තියක් බවට පත් කරගෙන ඇති බව කියයි. වංචාවන්ට හසු වූ ව්‍යාපාරිකයන්ව බිය ගැන්වීමට ඔහු ගිනි අවි යොදාගෙන ඇති බවත් ගිනි අවි සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් ද ඔහුට කුලියාපිටිය අධිකරණයේ නඩුවක් විභාග වන බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. තඹුත්තේගමදී ඔහු විසින් ගිනි අවියක් පෙන්වා හාල් ව්‍යාරිකයන් පිරිසක් බියගන්වා අහසට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද නඩුවක් 2017 වසරේ සිට තඹුත්තේගම අධිකරණයේ විභාග වෙමින් ඇතැයිද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මේ සැකකරු ව්‍යාපාරිකයන්ට අගරු චෙක් පත් දී මුදල් වංචා කිරීම්වලට අමතරව ව්‍යාපාරිකයන්ව බිය ගන්වා මුදල් ගැනීම්වලද නිරතව සිට ඇති බවට විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී ඇත. එහෙත් ඔහුට ඇති බිය නිසා ඒ සම්බන්ධයෙන් පැමිණිලි පොලිසිවලට කර නැති බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. සේ සැකකරු තිදරු පියෙකි. අඹු දරුවන් සමඟ ඔහු තැන තැන යමින් කුලී නිවාසවල පදිංචිව සිටිමින් පොලිසිය මඟහරින බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. පත්තඬුවන නිවෙස රුපියල් 25,000ක කුලියකට ගෙන ඔහු සිය බිරිය සහ දරුවන් සමඟ පදිංචිව සිටින්නේ මාස 06ක පමණ කාලයක සිට බව ද අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශන සහ අධිකරණමය කටයුතු සඳහා සැකකරුව ගිනි අවි ද සමඟ මිනුවන්ගොඩ පොලිසියට භාර දී තිබේ.

විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වී.ජී.ඩී.ආර්. කරුණාරත්න, බුද්ධි හා විශේෂ මෙහෙයුම් අංශ ප්‍රධානි සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මේ වැටලීම කර ඇත.

Leave a Reply

Your email address will not be published.