2023 අය-වැය ඇස්තමේන්තුව හදන්න අනුමැතිය

එළැඹෙන 2023 වසර සඳහා වන අය-වැය ඇස්තමේන්තුව සකස් කිරීමට පෙරේදා (22) පැවැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 9ක් වන රාජ්‍ය ආදායම සියයට 11.3ක් දක්වා ඉහළ නංවා ගැනීමටත්, සියයට 18.9ක් වන රාජ්‍ය වියදම සියයට 18.1ක් දක්වා අඩුකර ගැනීමටත් මෙමගින් අපේක්ෂා කෙරෙයි.

ප්‍රාඨමික අය – වැය ශේෂය සෘණ සියයට 4 සිට සෘණ1 දක්වා අඩු කර ගැනීමටත් අය – වැය පරතරය සෘණ 9.9 සිට සෘණ 6.8ක් දක්වා අඩුකර ගැනීම යන ඉලක්කයන් 2023 වසරේ අයවැය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

එසේම 2023 වසර සඳහා වන අය – වැය ඇස්තුමේන්තු ශුන්‍ය පාදක අය – වැය ක්‍රමවේදය පදනම් කරගනිමින් සකස් කිරීමට මින් සැලසුම් කර තිබේ. රටේ ඉතිහාසයේ දැවැන්තම රාජ්‍ය මුල්‍ය කළමනාකරණ අර්බුදයයි පවතින මේ අවස්ථාවේ ආදායම වර්ධනය කරගනිමින් වියදම් අඩු කරගැනීම අවශ්‍යතාව වී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත දියුණු රටවල අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 5කට වඩා අඩුව පවත්වා ගෙන යා යුතුව ඇති බවත් එසේ නොකළොත් සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරේ බලපෑම් ඇති වීම වැලැක්විය නොහැකි බව ද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.