ඩීසල් නැවක් ගොඩබෑම අරඹයි – අද රාත්‍රියේත් තවත් නැවක්

බැංකු නිෂ්කාෂණ කටයුතු හේතුවෙන් ගොඩබෑම පමා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මීට අමතරව තවත් ඔටෝ ඩීසල් නෞකාවක් අද රාත්‍රියේ මෙරටට ලගාවන අතර එහි ගොඩබෑමේ කටයුතු හෙට ආරම්භ කෙරෙනවා.
බෙදාහැරීම් මෙහෙයුම් වෙනුවෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ මෙහෙයුම් අද රාත්‍රියේ අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මේ අතර අනුමැතියකින් සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි ඉන්ධන ගබඩා ටැංකි පිහිටුවා ඇති ස්ථානවලට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තෙල් බෙදාහැරීමක් සිදු නොකරන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
මේ අතර ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා සදහන් කළේ මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම ඊයේ සිට තාවකාලිකව නතර කර ඇති බවයි.
ඩීසල් බෙදා හැරීම සීමා වීම නිසා පෞද්ගලික බස් රථ හිමියන් අද ප්‍රකාශ කළේ හෙට සිට සියයට 50කින් බස් රථ ධාවනය අඩුවනු ඇති බවයි.
මේ අතර සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සම්බන්ධයෙන් අද සංචාරක හා ඉඩම් කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවති අතර ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය සහ එය ආරම්භ කරන දින පිළිබද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.