පෙම් පළහිලව්ව විභාග වෙද්දී වැඩිහිටි කාන්තාව පොලිසියේ පිහියක් වනලා

පැමිණිල්ලක් විභාග කිරීමට තලංගම පොලීසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට පසුගිය දිනෙක කැඳවා සිටි තරුණයකු සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියකගේ පවුල්වල අය අතර පොලිසිය ඇතුලේ කලබලකාරී තත්වයක් උදාවී තිබේ.
මේ නිසා ඇති වූ ගැටුමින් දෙපාර්ශ්වයේ කිහිප දෙනකුද ගැටුම මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා ඇතැයි වාර්තාවේ. තුවාල ලැබූවන් අතර එම තරුණයා සහ ඔහුගේ පෙම්වතිය ද සිටියි.
තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ 20 හැවිරිදි දියණිය, මහරගම පමුණුව ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඔහු සමග පලාගොස් ඇති බවට කර තිබු පැමිණිල්ලක් විභාග කිරීමට දෙපාර්ශවයම පොලීසියට කැඳවා ඇත.

ඒ අවස්ථාවේ තම දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවකියමින් කලබලය ආරම්භවී තිබේ. අනෙක් පාර්ශ්වය කියන්නේ දියණිය කැමැත්තෙන් ආ බවයි.

එක් පාර්ශ්වයක සිටි 63 හැවිරිදි කාන්තාවක අත්බෑගයක බහා සගවාගෙන ආ පිහියක් ඉවතටගෙන අනෙක් පාර්ශවයේ අයකුට ඇනීමට උත්සාහ කළ බව පොලීසිය සඳහන් කරයි. පොලිස් කොස්තාපල් උශාන්ත (94027) මහතා එම පිහිපහර වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ අතක් කැපී තුවාල සිදුවී ඇති අතර ගැටුම මැඩ පැවත්වීමට ගිය කොස්තාපල් බණ්ඩාර (37344) මහතාද තුවාල ලබා ඇත.

ඔවුන් දෙදෙනාම මුල්ලේරියාව මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බව එම නිලධාරියා කීත්වේ. පිහියකින් ඇනීමට උත්සාහ කළ බව කියන 63  හැවිරිදි කාන්තාව ඇතුළු දෙපාර්ශ්වයේම 6 දෙනෙක් පොලීසිය විසින් ඒ මොහොතේම අත්අඩංගුවට ගනු ලැබූහ. හැටතුන් හැවිරිදි කාන්තාව සතුව තිබූ පිහියද පොලිස් භාරයට ගෙන ඇත. අයුතු ජනරාශියක සාමාජිකයන් වී, කලහකාරි ලෙස හැසිරීම ,

පහර දීම සහ පොලිස් නිලධාරින්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ  මෙම 6 දෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බර්ටි වීරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

Leave a Reply

Your email address will not be published.