ප්‍රමිතියෙන් තොර බොරතෙල් නිසා සපුගස්කන්දේ වැඩ 22% කින් පහතට

කොරල් එන්ර්ජි සමාගම මගින් මෙරටට ගෙන්වා ඇති බොරතෙල් නිසි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය සියයට 22 කින් පහත බැස ඇති බවට වාර්තා වනවා.
ඩුබායි හී ලියාපදිංචි මෙම සමාගමෙන් බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන මිලට නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් දැනුම් දී තිබුණත් රජය විසින් එම සමාගමෙන් බොරතෙල් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, එම බොරතෙල් නිසි ප්‍රමිතියෙන් තොර නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය අඩු වී ඇති බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල සඳහන් කළේ.
එවන් පසුබිමක යලිත් වරක් දිවයින ඇතැම් ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත වගකීම් විරහිත ප්‍රකාශ සිදු කරන බවයි.
විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගත වන බවත් එම ක්‍රියාවලිය හේතුවෙන් ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය කෙරෙහි සමාජයේ අප්‍රසාදයක් හා වෛරයක් ඇති කරවන සුළු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් වන මෙම තීරණාත්මක අවස්ථාවේ එම ක්ෂේත්‍රය අගාධයට වැටීම වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද නිසි ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.